ජනතාව නව රජය පත්කළේ පෙර රජයේ වැරදි නැවත්වීමට සහ නිවැරදි කිරීමටයි – ආචාර්ය හිරාන් අමරසේකර

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය හිරාන් අමරසේකර SAITM පිළිබඳව පසුගියදා  ලංකාදීප පුවත්පත් සමග කල සාකච්චාව

සරසවි සිසුන් නිදහස් අධ්‍යාපනය පිණිස වූ අරගලයක නිරතව සිටින්නේ කලෙක පටන්මය. එහෙත් මෙවර සයිටම් අරභයා වූ ඒකාබද්ධ අරගලය ඊට වඩා සැලකිය යුතු ලෙස වෙනස් මෙන්ම තීරණාත්මකය. තීව‍්‍රය. සාම්ප‍්‍රදායිකව පැවැති සටන වාමාංශික ආභාෂයක් සහිත රැඩිකල්වාදී එකක් යැයි අර්ථකථනය කළ ද මෙවර එවැනි අර්ථකථනයක් දිය නොහැකිය.

මෙවර දියත්ව ඇත්තේ නිදහස් අධ්‍යාපනයත් නිදහස් සෞඛ්‍යයත් යන ක්‍ෂේත‍්‍ර දෙකේම සුරක්ෂාව පිණිස ඒකාබද්ධ වූ සටනකි. උදාහරණයකට විශ්ව විද්‍යාල වෛද්‍ය සිසුවෝ වනාහි සාම්ප‍්‍රදායිකවම වාමාංශික ආභාෂයකින් පෙළගැසුණ පිරිසක් නොවෙති. ජාතික මට්ටමින් මතු නොව ජාත්‍යන්තර මට්ටමෙන් වුව මැන බැලූව ද අතිශයින්ම දුෂ්කර උසස් පෙළ විභාගයෙන් ඉහළම ලකුණු ලබා පැමිණියෝය. සරසවි පීඨ අතරෙහි ද දුෂ්කරතම ඉලක්කය ජයගත් වෛද්‍ය පීඨ අටක සිසුවෝ වසරක පමණක් කාලයක් තිස්සේ දැන් සිටින්නෝ අනවරත අරගලයකය. පිරිසක් අට්ටාලවලය. පිරිසක් මහමඟය. පොදුවේ ගත්කල සියල්ලෝ විරෝධතාවකය. එහෙත් පුදුමසහගත තත්ත්වය නම් මේවාට විසඳුම් සෙවිය යුතු පාලකයන් එය නොසලකා හැර එක ආයතනයක් වෙනුවෙන් පෙනී සිටීමට ගන්නා උත්සාහයයි.

සයිටම් ආයතනයට පදනම වැටුණේ පසුගිය රජය අවධියේදීය. එහෙත් 2015 ජනවාරි 8 ඒ රජය පරාජය කර නව රජයක් බලයට පත්කරන්නට ජනතාව කටයුතු කළහ. ඉතින් දැන් ප‍්‍රශ්නයට විසඳුම සෙවිය යුත්තේ කවුද? වත්මන් රජයයි. ආරම්භයේ පටන්ම සයිටම් ආයතනය ක‍්‍රියා කළේ වංචනිකව බව සියල්ලෝ දනිති. එය ගුණාත්මකව පහළ අඩියක බව දනිති. සයිටම් වෙනුවෙන් යම් මතවාදයක සිටින අතළොස්සක් වේ නම් ඔවුහු යම් ප‍්‍රතිලාභයක් ලැබුවෝය. මෙහිදී සැබැවින්ම සයිටම් මවුපියෝ අසරණය. ඔවුන් සිය දුවා දරුවන් මීට සම්බන්ධ කළේ ආයතනයෙන් කළ යම් දැනුම්වත් කිරීම් හා ප‍්‍රචාරණ කටයුතු විශ්වාස කිරීමෙනි. එසේ බලද්දී අද්‍යතන අධ්‍යාපන ප‍්‍රශ්නය පැහැදිලි ලෙස කඳවුරු දෙකකට බෙදී ඇත්තේ ප‍්‍රමාණාත්මකව රටේ සාතිශය බහුතරය සයිටම්විරෝධී අරගලයක පාර්ශ්වකරුවන් කරමිනි.

වෛද්‍ය පීඨයක් පිහිටුවීමේදී මූලික අවශ්‍ය අංගයක් වන්නේ රෝහලකි. එහෙත් සයිටම් ආයතන ප‍්‍රධානියා කළේ තමා සන්තකයේ තමාට අයත්ව තිබූ රෝහලත් විකුණා දමා ඒ මුදල අධ්‍යාපන ආයතනයක් වෙනුවෙන් ආයෝජනය කිරීමය.

සිසුන් ඇතුළත් කිරීම ගැන ද පැහැදිලි දත්ත නැත. එය ආරම්භ කළ අවධියේ 2011 වසරේ සිට සිසුන් වසරකට දෙවතාව බැගින් විශාල ගණනක් ද බඳවා ගත් බව කියයි. මෙරට රාජ්‍ය විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨ අටටම වර්ෂයකට බඳවාගන්නේ දළ වශයෙන් එක්දහස් දෙසීයක පමණ පිරිසකි. කථිකාචාර්යවරුන් සියයක් පමණ සිටින කොළඹ වෛද්‍ය පීඨයට පවා වසරකට බඳවාගන්නේ සිසුන් දෙසීයක් පමණය. එවැනි සීමාකිරීමක් වන්නේම වෛද්‍ය අධ්‍යාපනයේ ඇති භාරදූරභාවය නිසාය.

වෛද්‍ය අධ්‍යාපනය දෙන්නට අවශ්‍ය වන්නේ විශිෂ්ට ගුරුවරුය. ඊළඟට වැදගත්ම කරුණ වන්නේ සායනික පුහුණුවයි. රටකට රෝගීන් වැඩියෙන් බිහිවේවායි කවරෙක්වත් පතන්නේ නැත. එහෙත් සිසුන්ට අධ්‍යයනය සඳහා අදාළ රෝහලේ විවිධ වර්ගවල රෝගීන් සිටිය යුතුවේ. වෛද්‍ය සභාවේ නිර්දේශය එයයි. රෝගීහු වනාහි අසරණයෝය. තමා සායනික වශයෙන් පරීක්ෂාවට ලක්වන්නේ කාගේ අතින්දැයි ඔවුහු නොදනිති. අප කතාකරන්නේ සැබැවින්ම ජීවිතයත් මරණයත් අතර ප‍්‍රශ්නයකි. අහස් යානාවක් පදවන්නකු කළ යුතු නොකළ යුතු කරුණු රැසක් පවතින්නාක් මෙන් රෝග විනිශ්චය ද කළ යුතු නොකළ යුතු සංකීර්ණ කරුණු රැසකින් සමන්විතය. ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව සයිටම් පාලනාධිකාරියට අවධාරණය කළේ එම සංවේදී කරුණට අදාළ නිර්දේශ මත පිහිටා කටයුතු කළ යුතු බවය. එහෙත් ප‍්‍රශ්නය වූයේ සයිටම් එම නිර්ණායක මත පිහිටා කටයුතු නොකිරීමය. ඔවුන් එම නිර්ණායක මත පිහිටා කටයුතු කරන්නේ නම් ප‍්‍රශ්නයක් නැත.

ලංකාව වැනි රටවල වෛද්‍ය අධ්‍යාපනය මතු නොව ඕනෑම අධ්‍යයන ක්ෂේත‍්‍රයකට පිවිසෙන සිසු සිසුවියන් වැඩිපුර උනන්දු වන්නේ ගුණාත්මක අධ්‍යාපනයකට නොව සහතිකයකටය. රාජ්‍ය විශ්ව විද්‍යාලවල සිටින සිසු සිසුවියන් අතර තත්ත්වය ද මීට වෙනස් නැත. ඔවුන්ට අද උපාධිය ප‍්‍රදානය කරන්නට දැයි ඇසුවොත් බොහෝ දෙනෙක් අධ්‍යයන කටයුතු නැතිවම වුව එය ලබාගැනීමට සූදානම්ය. අධ්‍යාපන ක්ෂේත‍්‍රවල ප‍්‍රමිතිය සඳහා කිසියම් ආයතනයක් පත්කර තිබෙන්නේ එහෙයිනි. එහෙත් අද වනවිට ප‍්‍රමිති පරීක්ෂකයන් ද අසරණ වෙලාය. ඇතැම් බලධාරිහු ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව අපහාසයට උපහාසයට ලක්කරමින් කටයුතු කරති. මේ නිසා වඩාත් අර්බුදයට යන්නේ එහි ස්වාධීනත්වය බව ඔවුහු නොදනිත් ද?

2012 දී පමණ ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිවරයාට අත්බෝම්බ ප‍්‍රහාරයක් පවා එල්ල විය. අද මෙන්ම විවිධ බලපෑම් කළේය. අවසානයේදී ප‍්‍රශ්න මැදම මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා වෛද්‍ය සභාවේ සභාපතිත්වයට පත්කළේය. අප දන්නා තරමට මහාචාර්ය ෆොන්සේකා පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධ වූවෙක් නොවේ. ඔහුට එදා තනතුර ප‍්‍රදානය කළේ ද සයිටම් ආයතනයට අනුමැතිය ගැනීමටය. එහෙත් සයිටම්හි ප‍්‍රමිතිය වඩා නරක තත්ත්වයක ඇති බව සභාපතිවරයා ප‍්‍රමුඛ නිලධාරිහු අවබෝධ කරගත්හ. ඒ නිරීක්ෂණ චාරිකාවකින් පසුව තත්ත්වය සියැසින්ම දැකීමෙනි. ඉතින් පෞද්ගලික අධ්‍යාපනය ගැන අන්තවාදී අදහසක් නොදැරූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා පවා මීට අනුමැතිය නොදුන්නේ මන්දැයි නැවත සිතා බැලිය යුතුය. ප‍්‍රමිතිය හදාගැනීමට සයිටම් සූදානම් නම් ප‍්‍රශ්නයක් නැත.

වෛද්‍ය ශිෂ්‍ය ප‍්‍රවේශය මතු නොව සියලූ අංශවල සිසුන්ගේ උසස් අධ්‍යාපන සිහිනයට හානි පමුණුවන ප‍්‍රධාන බාධකය වී තිබෙන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාලවලට ඇතුළත් කරගන්නා සංඛ්‍යාව සීමිත වීමය. මෙය ඉතාමත් සංවේදී ප‍්‍රශ්නයකි. මන්දයත් ඉසෙඩ් අගයට ප‍්‍රමාණවත් පරිදි සමීප වූවන්ට පවා මේ ඉඩකඩ ප‍්‍රශ්නය නිසා බැටකන්නට සිදුවන හෙයිනි.

මෙය තර්කයක් හැටියට අතිශය සාධාරණය. ප‍්‍රශ්නයක් හැටියට මානුෂිකය. සයිටම් සාධාරණීකරණයට ඇතැමුන් භාවිත කරන්නේ මේ තර්කනයයි. එහෙත් සයිටම් සම්බන්ධයෙන් ගත්කල එය පූර්ණ සත්‍යයක් නොවේ. සයිටම් ආයතනයට බඳවාගත් අතිබහුතර සිසු සිසුවියෝ මෙසේ ඉසෙඞ් ලකුණු සීමාවේ සිටියෝ නොවෙති. හොඳින් විමසා බැලූවහොත් එය නිරීක්ෂණය කළහැකිය. මෙහි ඇත්තේ මුදල පිළිබඳ සාධකයයි. ඇත්ත වශයෙන් ආණ්ඩුවට අධ්‍යාපන ප‍්‍රතිපත්තිය සකසාගැනීමට නිවැරැදි වුවමනාවක් තිබේ නම් සයිටම් ප‍්‍රශ්නය හොඳම ප‍්‍රවේශයයි. රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ ඉඩකඩ ඇහිරීමේ පාපයට වන්දි ගෙවමින් උසස් අධ්‍යාපන සිහිනය බොඳ වන සිසු සිසුවියන්ට සාධාරණ පිළිතුරක් දීමට රජයට වගකීමක් ඇත. ඒ වෙනුවෙන් සියලූ පාර්ශ්ව එකට එකතු වී වහ වහා නිශ්චිත ක‍්‍රමවේදයක් සැකැසිය යුතුවේ. එහෙත් එයට මුවා වී සයිටම් මුට්ටිය දාගැනීමට කිසිසේත් අනුමත කළ නොහැකිය. සරලවම කියන්නේ නම් මුදල සාධකයක් විය යුතු නැත. අවශ්‍ය වන්නේ මුදල වෙනුවට කුසලතාව මත උසස් අධ්‍යාපනය ලබාදෙන වැඩපිළිවෙළකි. නොඑසේව කුසලතාවෙන් හීන පුද්ගලයන්ට මුදල් බලයෙන් දොරටු විවර වන ක‍්‍රමයක් නොවේ.

නිදහස් අධ්‍යාපනය යටතේ වෛද්‍යවරයකු බිහිකිරීමට සුවිසල් මුදලක් රාජ්‍යය වැය කරන බව ඇතැම් විචාරකයෝ පවසති. විශේෂයෙන්ම එම මුදල මහජන බදු මුදල් නිසා කිසිදා නිමා නොවන බැඳීමකින් එකී වෛද්‍යවරුන් පොදු ජනතාව සමඟ තියුණු ලෙස බැඳී පවතින බවට මත දක්වති. පෞද්ගලික රෝහල්වල ප‍්‍රතිකාර කිරීම් ගැන දොස් දකිති. එහෙත් මා දන්නා තරමින් නම් ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියෙන් වෛද්‍යවරුන් බිහිවන්නේ අඩුම පිරිවැයකිනි. තවද රජයේ වෛද්‍යවරුන්ට පෞද්ගලික රෝහල්වල සේවය කිරීමට බැරි ඇයි? එය රජය විසින් පිළිගනු ලැබූ තත්ත්වයකි. බදු මුදලින් උගෙන ගත් පුද්ගලයා පෞද්ගලික රෝහල්වල ප‍්‍රතිකාර කිරීම වැනි කරුණු මත සමස්ත වෛද්‍ය ක්‍ෂේත‍්‍රයේ ගුණාගුණ තක්සේරු කිරීමට යාම නොමනාය. එසේ මැනීමට අවශ්‍ය නම් ඊට ලොව පිළිගත් දර්ශක ඕනෑ තරම් තිබේ. විශේෂයෙන්ම මානව හිමිකම් දර්ශක, අධ්‍යාපන දර්ශක ආදිය එන්න එන්නම කඩාවැටෙද්දී ලංකාවේ සෞඛ්‍ය දර්ශක පවතින්නේ ඉතා ඉහළ තත්ත්වයක බව මේ විවේචකයන්ට නොපෙනෙන්නේ මන්ද? මෙරට ළදරු මරණ අනුපාතය අඩුය. ආයු අපේක්ෂාව වැඩිය. ඇතැම් බෝවන රෝග වසංගත රෝග අප හමාර කර තිබෙන්නේ අසල්වැසි සුවිසල් ඉන්දියානු ලොකු අයියාට ද පෙරය. ජාත්‍යන්තර පරිමාණයේ මෙවැනි ජයග‍්‍රහණ අපට අත්පත් කරගැනීමට හැකිවුණේ දේශීය වෛද්‍යවරුන් නිසා නොවේද? මෙම ජයග‍්‍රහණත් සමස්ත සෞඛ්‍ය සේවයත් රදාපවතින්නේ කොළඹට සීමා වී පෞද්ගලික රෝහල් මතම සිය පැවැත්ම තහවුරු කරගත් වෛද්‍යවරුන් අතළොස්සක් මත නොවේ. විවේචකයන් මෙම අතළොස්සක් වෛද්‍යවරුන් මත සිය තර්කය ගොඩනඟාගන්නේ බුද්ධිවිෂයක වංකභාවය නිසා මිස අන් හේතුවක් නිසා නොවේ. රජයේ රෝහල්වල දිග පෝලිම් පවතින බව ද ඇතැම් ශල්‍යකර්මවලට ලැයිස්තුවේ දිගු කලක් සිටීමට වන බව ද අපි පිළිගනිමු. ඇත්තය. එම තත්ත්ව වහ වහා වෙනස් කළ යුතුය. එහෙත් ඒ ප‍්‍රමිතියක් නැති වෛද්‍ය කඩ කඩිමුඩියේ නීත්‍යනුකූල කිරීමෙන් නම් නොවේ. කළයුත්තේ උසස් තත්ත්වයේ ප‍්‍රමිතියෙන් යුතු වෛද්‍යවරුන් වැඩි වැඩියෙන් බිහිකිරීමය.

පසුගිය කාලයේ සිදු වූ ආර්ථික විපරිවර්තන සමඟ මේ වනවිට ලංකාවේ සමාජය කිසියම් ආර්ථික වර්ධනයක් අත්පත් කරගෙන තිබේ. සරලව කිවහොත් මැදි ආදායම් ලැබීමේ තත්ත්වයට පත්වීම සමඟ මධ්‍යම පන්තියත් ඉහළ මධ්‍යම පන්තියත් සිය කටයුතුවලදී වාණිජමය මෙහෙයවීම්වල බලපෑමට වැඩි වැඩියෙන් ලක්වේ. නිදහස් අධ්‍යාපනය යන සටන් පාඨය යට කරගෙන අධ්‍යාපනයේ නිදහස යන සටන් පාඨය වැඩි හඬකින් නැඟෙන්නේ ඒ නිසාය. මේ සූදානම් වන්නේ අධ්‍යාපනයත් වෙනත් උපභෝග පරිභෝග භාණ්ඩ මෙන් හෝල්සේල් දැමීමටය. එසේ උත්සාහ දරන ඇතැමුන් නඟන තව තර්කයක් වන්නේ ලෝක ශ්‍රේණිගත කිරීම්වලින් ලංකාව පහළ මට්ටමේ සිටින බවය.

ඔවුන් පෙර පරිදිම හිතාමතාම පටලවන්නේ ශ්‍රේණිගත කිරීම හා ප‍්‍රමිතියයි. ශ්‍රේණිගත කිරීම හා ප‍්‍රමිතිය යනු කාරණා දෙකකි. ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට ඒමට නම් නොබෙල් ත්‍යාග ලැබීම ආදී බරපතළ සාධක මුල් තැනට එයි. අපේ විශ්ව විද්‍යාල පද්ධතියෙන් එවන් නිර්මාණ බිහි නොවීමේ දුක්ඛදායක කතාව පසුපස ඇත්තේ රාජ්‍ය අධ්‍යාපනයට වැය කරන මුදලේ හිඟතාවයයි. මේ වනවිට ලංකාවේ ඇත්තේ විද්‍යා විෂයවලට වියදමක් නොකරන තත්ත්වයකි. වැය කරන ප‍්‍රමාණයත් තවත් කප්පාදු කරමින් සිටී. මේ නිසා පර්යේෂණ කිරීමට ඇති හැකියාව පහළ මට්ටමකට වැටේ. එහෙත් එයින් එම විශ්ව විද්‍යාල ප‍්‍රමිතියෙන් පහළ වැටී ඇති බවට කිසි ලෙසකින් අදහස් වන්නේ නැත.

මේ වනවිට සයිටම් ප‍්‍රශ්නය පවතින්නේ ජනප‍්‍රිය උදාහරණයකින් පැවසුවහොත් දඬවම්ලාගේ සක්විතිලාගේ ප‍්‍රශ්නය වගේය. දඬුවම්ලාට සක්විතිලාට හසු වන මිනිසුන්ට එහි ඇති අනීතික බව මහ බැංකුව පැවැසුවේ කල්තියාය. ඒ වෙනුවෙන්ම වූ නිවේදන අවස්ථා කීපයකදීම පළ කෙරිණි. එහෙත් ඔවුහු දැන දැනම අමාරුවේ වැටුණහ. සයිටම් ආයතනය ගැනත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව නිවේදන පළ කළේ මහ බැංකුව වගේමය. එහෙත් දරුවන්ගේ අනාගතය පිළිබඳ සිහිනයෙන් මායාවකට හසු වූ මවුපියෝ ඒවා සත පහකට මායිම් නොකළහ. නිවේදන ද නොසලකා හැරිණි. දැන් ඔවුන් පත්ව සිටින්නේ දඬුවම්ලාට සක්විතිලාට හසුව අසරණ වූ මිනිසුන්ගේ මට්ටමටය. කෙසේ වුවද සියල්ල සිදුවන්නේ හොඳට යැයි සිතා දැන් කළයුත්තේ සයිටම් ප‍්‍රශ්නය මුල්කරගත් පුළුල් සමාජ සංවාදය මෙරට නිදහස් අධ්‍යාපනයේත් නිදහස් සෞඛ්‍යයේත් උන්නතිය පිණිස භාවිත කිරීමය.

නොඑසේව ආර්ථික දෘෂ්ටිකෝණවලින් ප‍්‍රශ්නය විග‍්‍රහ කර ආණ්ඩුවට සිය වගකීමෙන් මිදීමට එය අවභාවිත කිරීම නොවේ. එහෙත් තවමත් අප දකින්නේ දිනපතා වීදි බසින විශ්ව විද්‍යාල සිසුන් හා ඊට එරෙහිව නැ‍ගෙන පොලිස් බාධක හා ජල ප‍්‍රහාරයි. ආණ්ඩුව මේ සෙල්ලම් කරන්නේ රටේ ජීවනාලිය බඳු අනාගත පරපුර සමඟය. ජීවිතයේ හොඳම සමයේ මෙසේ මහමඟ අතරමංව රජයෙන් අවතක්සේරුවට ලක්වීම පුරවැසි සමාජයකට යහපත් නොවේ. රජය දැන්වත් මේ සෙල්ලම නතර කළ යුතුය.

(සංවාද සටහන-බිඟුන් මේනක ගමගේ)

උපුටාගත්තේ – ෆේස්බුක් වෙබ් අඩවියෙනි.

Leave a Reply