Breaking News

අනුර කුමාරගේ පුතා,ප්‍රභාකරන්ගේ පුතා සහ නොට්ටිගේ පුතා!

මට ටිල්වින් සිල්ව සහෝදරය හමුවෙන්නට පුලුවන් ද?

ජවිපෙ මූලස්ථානයට ගොඩවැදුන මම පිළිගැනීම්භාර පුද්ගලයාගෙන් විමසුවෙමි.

ටිල්වින් අයිය පොඩිවැඩක ඉන්නෙ මහත්මයා,යැයි පැවසූ එම පුද්ගලයා ඉතාසුහදව මගේ වත-ගොත විමසා  මට අසුනක්ද පිළිගැන්වූයේය.

ටිල්වින් සිල්වා හමුවීමට සිදුවන ප්‍රමාදය පිළිබඳ මගේ කනස්සල්ල  තරමක්  පහවගියේ ටිල්වින් සිල්වා නැතත් ටිල්වින් සිල්වා ගේ මල්ලී හෝ හමුවීම ලොකුදෙයක් යැයි හැඟුනබැවිනි.

ඔබතුමා ටිල්වින් සිල්වගෙ බාලමල්ලි ද? ලොකු මල්ලි ද? හඳුනාගැනීමට ලැබීම පිළිබඳ ගොඩක් සතුටුයි! යැයි ඉබේටමවගේ මට කියැවුණි.

තරමක ලැජ්ජාවට පත්වූ එම පුද්ගලයා වහාම ප්‍රතිචාර දක්වන්නටවිය.

නෑ නෑ මහත්මය,එහෙම ඥාතිකමකට නොවෙයි.අපි අපේ පක්ෂයෙ නායකයින්ට ආමන්ත්‍රණය කරන්නෙ “අයිය” කියලනේ.දැන් බලන්න සිරිඅයිය මලා! දැන් ඉන්නෙ  ටිල්වින් අයිය;ලාල් අයිය;විජිත අයිය;අනුර අයිය… ආදී   අයියලාගේ  දිග ලැයිස්තුවක්ම අපහසුවකින් තොරව එකදිගට ඔහු   කියවාගෙනගියේය.
ආං…හරි හරි,දැන් මට තේරුනා.ජවිපෙ නායකයො සැට්එක ඇවිල්ල අයියල! සාමාජිකයො වෙච්ච ඔහේල සියලුදෙනාම මල්ලිල!
මම හරිනේද?

භරියටම හරි මහත්මය.දැන් තමයි මහත්මයට ජවිපෙ අපේ සංස්කෘතිය නිවැරදිව මීටර්වුනේ,යැයි පවසන අතරතුර මගේ අවබෝධයේ නිවැරදිබව  පිළිබඳ සතුටට පත්වූ ජවිපෙ මල්ලී මට සිසිල්බීමකින් සංග්‍රහකිරීමටද   අමතකනොකළේය.

අයියල මොකෝ,මල්ලිල මොකෝ;වෙනසක් තිබිය නොහැක!
ටිල්වින් නමැති අයියා එනතුරු මා ඉදිරියේ සිටින  ජවිපෙ  සාමාජික මල්ලී සමග කතාබහ ඇරඹීමට මම තීරණය කළෙමි.

ඇත්තටම මොකක්ද ජවිපෙ මල්ලි මේ අනුර අයියගෙ ඥාතිපුතා පෞද්ගලික අධ්‍යාපන ආයතනයක ඉගෙනීම හා ගුවන්සේවා සමාගමක රැකියාව කිරීම සම්බන්ධව පහුගියදිනවල ඇතිවුන කතාබහ?

පව් සිද්ධවෙනව මහත්මය;අහිංසක කොල්ලෙකුටයි කෙල්ලකටයි මුන් කරන කියනදේට ඕකුන්ට හෙණම ගහනව මහත්මය.ජරා යක්කු.අනුර අයියට රිද්දන්න ඕවයින් බෑ .වැඩක් නෑ කතාකරල.යැයි පැවසූ ඔහු කෝපයෙන්-ශෝකයෙන් රතුවූ මුහුණ බිමට නැඹුරුකරගෙන බරකල්පනාවක ට වැටුනි.
ඒ අතරතුර පහත සඳහන් කරුණු  ඔබගේ අවධානයට යොමුකරමි.

මෛත්‍රීපාල ජනපතිගේ පුතා සමාජශාලාවකට පහරදීම ද ,රාජපක්ෂ ජනපතිගේ පුතාලා ගේ රේස්පැදිලි හා රොකට් යැවීම් ඇතුලු නහුතයක් පිස්සුකෙලීම් තරමට  ද ,ඇමතිපුත්තුන්ගේ පිස්සුකෙලීම් තරමට ද ,අනුර කුමාරගේ පුතාගේ කල්ක්‍රියාවේද දේශපාලනිකව සලකාබැලිය යුතු කොටසක් ඇත.

අනුර කුමාරගේ ඥාතිපුත්‍රයා හැදීවැඩුනේ අනුර කුමාරගේ පීතෘභාරකාරත්වය යටතේය.එනම් අනුර කුමාරගේ ඇල්ම-බැල්ම-මගපෙන්වීම යටතේය.එම පුත්‍රයා අනුර කුමාරගේ රියැදුරාලෙසද කටයුතුකළ බව පවසනුයේ ටිල්වින් සිල්වාය.පුත්‍රයාගේ පාර්ශවයෙන් විවාහයට සාක්ෂිකරුවකු ලෙස අත්සන් කරන්නේ විජිත හේරත්ය.අනුර කුමාර එම විවාහ මංගල්‍යයට  මනාලයාගේ මව සමග ප්‍රසිද්ධියේ සහභාගිවන්නේ මනාලයාගේ පියා ලෙසය.එසේනම් මෙම පුත්‍රයාගේ පෞද්ගලිකත්වයේ දේශපාලනිකව වැදගත් හරස්කඩක් තිබෙනබව අවිවාදිතය.එය ඕපාදූප හෝ මඩ-අවලාද හෝ යටතට අයත්වනලෙස සලකා බැහැරකළනොහැක.

ජවිපෙ ,පෙසප ඇතුලු  වාමාංශික යැයි තමන් හඳුන්වාගන්නා බොහෝ සංවිධාන විසින් Sri Lanka Institute of Information Technology(SLIIT) ආයතනය ඇතුලු එවැනි උපාධි පාඨමාලා පවත්වන පෞද්ගලික අධ්‍යාපන ආයතන හඳුන්වනුයේ “හොර උපාධි කඩ”ලෙසය.

ඒ අනුව  අනුර කුමාරගේ අනුදැනුම මත ඔහු තම පුත්‍රයා ඉගෙනීම සඳහා ඇතුළත්කර තිබෙන්නේ හොර උපාධි කඩේකටය!
SLIIT පාඨමාලා ගාස්තුගෙවා තිබෙන්නේ පුත්‍රයාගේ හැබෑ පියා වූ  මියගිය  හමුදානිළධාරියා   ට රජයෙන් ලැබුන දීමනා මුදලින් බව ටිල්වින් සිල්වා පවසයි.

ඉහත කරුණු අනුව,   එක්කෝ අනුර කුමාර ඇතුලු ජවිපෙ  විසින් ඥාති පුත්‍රයා රවටා ඇත!
නැත්නම් අනුර කුමාර ඇතුලු ජවිපෙ විසින් සමස්ත රට වැසියා වූ ඔහේලා-අපි රවටාතිබේ!

එහෙම වෙන්නේ මෙහෙමය;

පුත්‍රයාගේ ඇත්ත තාත්ත වෙනුවෙන් රජයෙන් ලැබෙන දීමනාව හොර උපාධි කඩයකට පූජාකිරීමෙන් පුත්‍රයා රවටා ඇත.

කවුරු කොහොම හිතුවත්   හොර උපාධිකඩේක ඉගෙනීමට වඩා ජවිපෙ ඩ්‍රයිවින් ජොබ් එක නරකමනැත.
තිබුන ඩ්‍රයිවින් ජොබ්එකටත් කෙලවාදමා  අනුර අයියා විසින් කොලුපැටියා හද්දාඅමාරුවක වට්ටලාය!

නැතහොත් SLIIT වැනි ආයතන හොර උපාධි කඩ නොවන බව අනුර කුමාර ඇතුලු ජවිපෙ  විසින්  හොඳාකාරවම දැන දැනම,  ඔහේලාගේ අපේ දරුවන් එවැනි  පෞද්ගලික අධ්‍යාපන ආයතනවලට ඇතුළත්ව ඉගෙනීමලබා දේශීය හෝ විදේශීය හෝ රැකියා අවස්ථාවක් ලබාගෙන ආර්ථිකමය සමාජමය ස්ථාවර බවක් ලබාගැනීම වළකාදැමීම ට බොරුබිල්ලෙක් මවා පෙන්වා ජනතාව රවටා ඇත.

ඉහත රැවටිලි දෙකෙන් අනුර කුමාර ඇතුලු ජවිපෙ  විසින්  සිදුකරන රැවටිල්ල වනුයේ දෙවැන්නවූ ජනතාව රැවටිල්ල බව ඉතා පැහැදිලිය.

අනුර කුමාර නොව මෙලෝ මිනිහෙක් තමන්ගේ දරුවකු නොව දන්න හඳුනන අයෙකුවත් මුදල්ගෙවා  ඉගෙනීම ලැබියයුතු හොරඋපාධි කඩයකට යොමුනොකරන බැවින් කාරණාව ඔබට පැහැදිලි යැයි සිතමි.

අනුර කුමාරගේ පුත්‍රයාට පෙම්වතිය හමුවන්නේ “හොර උපාධි කඩේකින්” ලබාගත් දැනුම හා සහතිකයට පිංසිද්ධවෙන්නටය.ගුවන්සේවා සමාගමක සුලුරැකියා මට්ටමකවුවද සමාජවටිනාකමක් ඇත.චාම්ලෙස හෝ ලස්සනට මංගලඋත්සවයක් පවත්වා නව ජීවිතයකට පියවර තබන්නට පුත්‍රයාටඉඩ ලැබුනේ “හොර උපාධි කඩේ”ට පිංසිද්ධවෙන්නටය.අපි හැමෝම  කොලුපැටියාගේ සුබඅනාගතය පිළිබඳ සතුටුවිය යුතුය.
ගැටලුව එය නොවේ,අනුර කුමාරගේ පුත්‍රයාගේ ලෝකයට ඔබගේ පුතා-දුවට පියවරතබන්නට තිබෙන අවස්ථාව හා අවකාශය අනුර කුමාර ඇතුලු ජවිපෙ  විසින් බොරුබිල්ලෙක් මවා පෙන්වා වළකාදැමීමය.මෙම “නඩුව” ඒ පිළිබඳවය.

අනුර කුමාර හොර උපාධි කඩ පතුරු ගහන අතරේ රටටම හොරෙන් තම පුත්‍රයා හොර උපාධි කඩේකටම යවයි!
එහෙත් කුමන “රෝලක් ගහල” හෝ දරුවෙකුට ඉගැන්වීමට හැකියාව, ඉඩකඩ තිබෙන සමාජස්ථරයේ  විශාල පිරිසකගේ දරුවන්ට එම අවස්ථාව ග්‍රහණය කරගැනීම වළක්වා  එම දෙමව්පියන් හා දරුවන් අධෛර්යය කරන හොරඋපාධිකඩ භීතිකාවක් මවාපෙන්වයි.

මෙහි බරපතල පරස්පරයක්,කුහක; වංචනික ස්වභාවයක් තිබෙන බව බැලූ බැල්මටම පෙනෙයි.

ඇත්තටම ජවිපෙ මල්ලි,කොහොමද අනුර අයියගෙ පුතා මිහින්ලංකා ජොබකට සෙට්වුනේ?ඒක වහනකොට එයාර්ලංකා එකටත් සෙට්වෙලා!  මේකෙ පොඩි රහසක් තියෙන්න බැරිද?

ජවිපෙ මල්ලි මට කරුණු පහදාදෙමින් කතාකරයි.

රහසතමයි මහත්මයා රාජපක්ෂ පාලනයේ  අන්ත දූෂිත බව.දැන් බලන්න මහත්මය,ඒ දරුව හොර උපාධි කඩේකින් පුංචි කෝස් එකක් කෙරුවෙ.ටිල්වින් අයිය පත්තරේට නිශ්චිතවම කිව්ව ඒක පොඩි,පුංචි කෝස් එකක් කියල.නමුත් මිහින්ලංකා එකෙන් පටස්ගාල දරුවට ජොබ්එකක් දුන්න.ඒකෙන්ම පේනවනේද  මිහින්ලංකා කියන්නෙ දූෂිතම ආයතනයක් කියල.හරිහමන් ආයතනයක්නම් ඔය වගේ  හොරඋපාධි කඩේක පොඩි,පුංචි කෝස් එකක  සහතිකයකට රැකියාවක් දෙයි ද?

ජවිපෙ මල්ලී ඇටනැතිදිව හතරඅතට නවමින් නොනවත්වා කතාකරයි.

අනිත් කාරණය තමයි මහත්මය  අපේ ජවිපෙ අයියලගෙ දරුවො, ඥාති ඔය ආයතනවල රැකියාලබාදීල රිංගවන එක ජවිපෙ අපේ උපක්‍රමික වැඩක්නේ. එතකොට  ඔය ආයතන ඇතුළෙකෙරෙන දූෂන වංචා අක්‍රමිකතා ආදියේ  තොරතුරු සියල්ලම අපට හොයාගන්න හරිම පහසුයිනේ.පාර්ලිමේන්තුවෙදි  අපේ අනුර අයියල     ගිරිය කඩාගෙන කඩදාසි මිටිගණන් අතේතියාගෙන කතාකරන්නෙ දරුවන්ගෙන් ඥාතින්ගෙන් ලැබෙන එවැනි තොරතුරු පදනම්කරගෙන නේ.

කොලපාට-නිල්පාට මැති-ඇමතිලා රැකියා ලබාදෙනවිට ජවිපෙ ට ගෑවිච්ච එකෙකුට රැකියා නොදෙති.එහෙම ලෝබ නැතිව බෙදන්නට රැකියා ද නැත.ගමේ බිම්මට්ටමේ කනගාටුදායක ඇත්ත කතාව එයයි.එහෙත් ජවිපෙ නායකයින්ගේ දරුවන්ට, සමීපතම ඥාතීන්ට එම බාධකය නොමැත.පුංචි කෝස් එකක් කිරීම රැකියාවකට ප්‍රමාණවත්ය!

දැන් අපි ප්‍රභාකරන්ගේ පුත්‍රයා දෙසට හැරෙමු.

1983 ජූලි 15 හමුදාව සමග සටනකදී මියගිය චාල්ස් ලූකස් ඇන්තනී යනු වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මුල්කාලීන සටන් සගයෙකි.තම මිතුරාට ගෞරව කිරීමට ප්‍රභාකරන්, තමාගේ පුත්‍රයාට ද චාල්ස් ඇන්තනී නම තැබුවේය.

ප්‍රභාකරන්ගේ පුතා විභාග දෙපාර්තමේන්තුව පැවැත්වූ සාමාන්‍ය පෙළ විභාගයටද පෙනීසිටිබව මාධ්‍යවාර්තාපළවිය.ප්‍රභාකරන්ගේ පුතා හොර පාරෙන් එංගලන්තයට යැවීමෙන් අනතුරුව පරිගනක තාක්ෂණය ඇතුලු උසස් අධ්‍යාපනයට යොමුකළ බවද ප්‍රකටය.එහෙත් නැවත හොරපාරෙන් උතුරට තම පුතා ගෙන්වාගත් ප්‍රභාකරන් ඔහුට කැලෑසූට් අන්දවා තුවක්කුවක් අතටදී පුතේ උඹත් සටන්බිමේ සටන් කරපන් යැයි පැවසුවා නොවේ ද?
අවසාන ප්‍රතිඵලය වුනේ තාත්තල පුතාල සියලුදෙනා මරුවැළඳගැනීම නොවේද?
තමන් කතාකරන දෙය ක්‍රියාවෙන් පෙන්වූ ප්‍රභාකරන් තමන් පෙනීසිටි අරමුණට කොතරම් අවංකද යන්න සිතාබැලීම ඔබට බාරය.

තමපුත්‍රයාට දෙමළ ඩයස්පෝරාවේ රැකවරණය යටතේ යුරෝපය,කැනඩාව,ඕස්ට්‍රේලියාව කී-නොකී ඕනෑම රටක සැපසේ දිවිගෙවීමට හැකියාව තිබියදී;අවමවශයෙන් මැලේසියාව,සිංගප්පූරුව වැනි රටකවත් තමපුත්‍රයා රඳවානොතබා තම පුත්‍රයාගේ අතටද තුවක්කුවක් ලබාදී තමපුත්‍රයා උතුරේ යුදබිමට යැවූ එකම තාත්තා වේලුපිල්ලේ ප්‍රභාකරන් නමැති තාත්තා ය!!

ප්‍රභාකරන් තමන් කතාකරන-ක්‍රියාකරන අරමුණට කොතරම් අවංකව කටයුතුකර තිබේද?ඇදහිය නොහැකිතරම් අවංකවී තිබේ.

අපි නැවත ජවිපෙ මල්ලිට සවන්දෙමු.

ඒක නොවෙයි ජවිපෙ මල්ලි,දැන් බලන්න වාසුදේව නානායක්කාරගෙ පුතා,දිනේෂ් ගුනවර්ධනගෙ පුතා,මහාචාර්ය නලින් ද සිල්වගෙ පුතා,ගුනදාස අමරසේකරගෙ පුතා ඇතුලු මේ සටන්කාමී, ප්‍රගතිශීලී නායකයින්ගෙ දරුවො ඇමරිකාවෙ,එංගලන්තෙ ඉගෙනගෙන ඒවයෙම රැකියාකරමින් ජීවත්වෙනව.තාත්තලගෙ දේශපාලනයට ගෑවිලාවත්නැති වෙනස්ම වෘත්තීන්හි යෙදෙනව.මේ ගැන පොඩි පැහැදිලිකිරීමක් කරන්න පුලුවන්ද?

ඒ විතරක් ද මහත්මය,අපේ හම්බන්තොට ජවිපෙ නිහාල් ගලප්පත්ති සහෝදරයගෙ පුතා ඉගෙනගන්නෙත් එංගලන්තෙ නේ!

ඒකට ප්‍රධානහේතුව තමයි මහත්මය කළින් කියපු නම්ලැයිස්තුවෙ හැමෝම අඩු වැඩි වශයෙන් වමේ දේශපාලනයෙන් ආරම්භයගනිපු නායකයොවීම.වාමාංශිකයො පවුල්වාදයට තදින්ම විරුද්ධයි නේ මහත්මය.

ඒ නිසා තමන්ගෙ දූදරුවො තමන්ගෙ වමේදේශපාලන ව්‍යාපාරයට සම්බන්ධකරගන්නෙම නෑ.තමන්ගෙ දරුවො පක්ෂෙට ආවොත් ලෙඩ ගොඩයි.තාත්තලගෙ පවර් එක ඇඟට අරගෙන පක්ෂෙ සාමාජිකයන්ට පාට් දානව.රටේ මිනිස්සුත් කියන්නගනීවි තාත්තලගෙ පුතාලට නායකතනතුරු මන්ත්‍රීකම් දෙන්න කියල.එතකොට තනිකර රාජපක්ෂල බණ්ඩාරනායකල වගේ පවුල්වාදය ට වමේපක්ෂය යටකරනව.ඒක වළක්වල සුදුස්සාට දක්ෂයන්ට වමේ පක්ෂතුළ ඉදිරියට එන්න ඉඩසලසන්න තමයි වාමාංශික නායකයො තමන්ගෙ දූදරුවො තමන්ගෙ වමේපක්ෂයට සම්බන්ධනොකරඉන්නෙ.

වාමාංශික නායකයො තමන්ගෙ දරුවන්ට හොඳට උගන්වනව මහත්මය .ලාල් කාන්ත අයිය තමන්ගෙ දුවට මාසෙකට වැයවන ටියුෂන්ගාස්තුව රු.තිස්දාහක් බව ප්‍රසිද්ධියෙම කිව්ව මතකඇතිනේ.ලංකාවෙ මදිනම් පිටරටත් යවල උගන්වනව.ඊටපස්සෙ ගැලපෙන මඟුලකුත්කරලදීල පැත්තකටම කරනව.වමේපක්ෂයේ පැත්ත පළාතකට වද්දගන්නෙනෑ.වමේ අපි පවුල්වාදය ට විරුද්ධයිනේ මහත්මය.
ඇටනැති දිව හතර අතට නවමින් ජවිපෙ මල්ලි සුපුරුදු වාග්හරඹයේ යෙදෙයි.

තමන්ගෙ දරුවන් පෞද්ගලික විශ්ව විද්‍යාලයන්ට,ජාත්‍යන්තර පාසැල්වලට,මන්ත්‍රීවරප්‍රසාද මගින් විශාඛා විද්‍යාලයට ,ඥාති සබඳතාමත එංගලන්තයට යවා තම දූදරුවන්ගේ ජීවිත සහ අනාගතය සුරක්ෂිතකරන්නට සූක්ෂ්මව කටයුතුකරන ජවිපෙ නායකයෝ-වමේ නායකයෝ ජනතාවගේ දරුවන් වීදිසටන් සඳහා කැඳවාතිබේ!! වීදිසටන් දරුවනි කාපියව් වෙඩි!! නොව කාපියව් පිදුරු,බීපියව් පුන්නක්කු කිව්වලු!

වමේ දේශපාලන නායකයින්ගේ එම දෙබිඩි පිළිවෙත හමුවේ ප්‍රභාකරන් ගේ විශිෂ්ටතාව මොනවට කැපීපෙනෙයි ද?
මහත්මයා;ජවිපෙ අපි කොහේදිවත්,කාටවත් කියල නෑ පෞද්ගලිකව අධ්‍යාපනය ලබන්නට එපා කියල.ජවිපෙ අපි කතාකරන්නෙ ඊටවඩා පළල් කාරණයක්.ජවිපෙ අපි සහ අනෙකුත් සියලුමදෙනා විරුද්ධවෙන්නෙ අධ්‍යාපනය පෞද්ගලීකරණයට ආණ්ඩුව විසින් කටයුතුකරනු ලැබීම සම්බන්ධවයි.අදාළ කාරණය සංයුක්තව අවබෝධනොකරගැනීමේ අවුලක් මහත්මයට සිද්ධවෙලා තියෙන්නෙ.හුදෙකලා සිදුවීමක් ඉස්මතුකරමින් පළල් ජනඅරගලයක් හෑල්ලුවට ලක්කිරීම සුදුසු නෑ මහත්මය.

ජවිපෙ මල්ලී, න්‍යායිකව කරුණු විග්‍රහයකට ප්‍රවේශවිය.

සංයුක්ත ද මොකක්ද කිව්වඑක මට හරියට අවබෝධයට ආවෙ නෑ මල්ලි!

සංයුක්තව කියන්නෙ මේකයි මහත්මය;වනාන්තරය අවබෝධකරගන්න පැලෑටි,පඳුරු,ගස්-වැල් සියල්ල එකට සලකන්න ඕන නේ!තනි පැලෑටියක් හෝ ගහක් හෝ වෙනම සලකාබැලුවට වනාන්තරය මොනවගේද කියල අවවබෝධකරගන්න කොහෙත්තම බැහැනේ මහත්මය.

ඒ වුනාට තනි තනි ගස්වල ස්වභාවය අනුව වනාන්තරයේ ස්වභාවයද වෙනස්වන බව මල්ලි දන්නවද? නිවර්තන වර්ෂා වනාන්තරය, සෞම්‍යකලාපීය වනාන්තරයට වඩා වෙනස්වෙන්නෙ ඒකනේ මල්ලි.ඒ නිසා ගස් පිළිබඳව වෙනම සලකාබැලීමද අත්‍යවශ්‍යයි මල්ලි.

මම එකට-එක කැපෙන පිලිතුරක් දුනිමි.

අයියෝ !මහත්මයට ‘අන්දකයිප්පු’ කැවිල ද කොහෙද;

ජවිපෙ මල්ලී තම කේන්තිය යටපත්කරගෙන අනුර අයියාගේ වැඩේ අවුල ගොඩඩදමන්නට දන්න සෙල්ලම් සියල්ල දමමින් කතාකරයි.

මම දන්නා වමේන්‍යායක් නැතත්, අවංක බව සහ ඍජු බව පිළිබඳ බුදුන්වහන්සේගේ න්‍යාය මෙතැනට හොඳින් ගැලපිය හැකිබවනම් දනිමි.

බුදු දහම අනුව ඇතුළත එකයි පිටත එකයි දෙකක් බැරිය. “යථාවාදී තථාකාරී, තථාකාරී යථාවාදී” වියයුතුය.
යමක් කියනවා නම් ඒ දෙයම කරයි. යමක් කරනවා නම් ඒ දෙයම කියයි.

තමන්ගෙ දරුවන් පෞද්ගලික විශ්ව විද්‍යාලයන්ට,ජාත්‍යන්තර පාසැල්වලට, එංගලන්තයට යවා උගන්වන අතරේ වැදිබණ දෙසීම හෙවත් යථාවාදී තථාකාරීත් නැති තථාකාරී යථාවාදීත් නැති කෛරාටික දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරනවිට එවැනි වම්මු සමග ජනතාව අත්වැල්බැඳගනියි ද?

මෙහි ඛේදනීය බව එපමණක් නොවේ.බිම්මට්ටමේ වාමාංශිකයා තම අඹුදරුවන්ද වමේ පක්ෂයට සම්බන්ධකරගෙන දේශපාලනයේ යෙදීමය.බිම්මට්ටමේ වාමාංශිකයාගේ බාලපුතා පෝස්ටර් ගහන අතරේ මද්දුමපුතා කැටහොල්ලා මුදල් එකතුකකරයි.ලොකුපුතා ටයර්සෑයක දැවීඅලුවී හමාරය.බිරින්දෑ පක්ෂ සාමාජිකයින්ට බත් තම්බයි!
මුලු පවුලම පක්ෂයට දායකවේ.

බිම්මට්ටමේ ජවිපෙ සාමජිකයා මැයි රැළියට එන්නේ පෙළපාලියන්නේ පවුල්පිටින්ය. ඡන්ද කැන්වසින් යන්නේ පවුල්පිටින්ය.පොඩිපුතා කරේතියාගෙන ඌටත් පුංචිපහේ රතුකොඩියක් දීලාය!පොඩිපුතා විසින් හැමඑකාටම ආමන්ත්‍රණය කරනුයේ “සහෝදරයා”කියලාය.හැමඑකාම පොඩිපුතාට ආමන්ත්‍රණය කළයුත්තේද “සහෝදරයා”කියලාය!නැත්නම් පොඩිපුතාට මලපනියි!එහෙම දවසට පොඩිපුතා රෑට බත්නොකා නින්දටයෑමෙන් මහඑවුන්ටතම විරෝධය දක්වයි. යමක්කමක් නොතේරෙන පොඩිපුතාගේ මනසටද ජවිපෙ සංස්කෘතිය කාවැදිලාය.

අහෝ ඛේදයකි; අනුරලා ගලප්පත්තිලාගේ දරුවන්ගේ ෆේස්බුක් පිටු සමනල කතා-බතා සහිත සාමාන්‍යකොලුකුරුට්ටන්ගේ අදහස්වලින් පිරිලාය!

71 සහ 89 ඝාතන දෙකකට පසුව අදත් හම්බන්තොට ජවිපෙට ස්ථාවර ඡන්ද තිස්පන්දාහක ඡන්දගිණුමක් අයිතිවතිබෙනුයේ බිම්මට්ටමේ සාමාජිකයා තම දෙවනපරම්පරාවට තෙවන පරම්පරාවට වමේදේශපාලනය උරුමකළ බැවිනි.ඒ එක නිදසුනක් පමණි.

පානදුර,අවිස්සාවේල්ල,කඩුවෙල,කැස්බෑව,හෝමාගම,මහරගම වැනි මැතිවරණකොට්ඨාශවල ඡන්දපදනමේ විශාල පංගුවක් වමටබර වී පවතිනුයේ තම මතවාදය දෙවනපරම්පරාවට තෙවන පරම්පරාවට උරුමකළ බිම්මට්ටමේ වාමාංශිකයන්ට පිංසිදුවෙන්ටය.තවබොහෝ නිදසුන් ඇත.

කොල-නිල් ධනපති පක්ෂවල දේශපාලුවන්ගේ හත්මුතුපරම්පරාවම දේශපාලනයට එන්නේ “රස” දන්නා බැවිනි.

වමේ නායකයින්ගේ දෙවනපපම්පරාව හෝ වමේ දේශපාලනයට නොඑන්නේ ඇයි?
වමේනායකයින් වමේ දේශපාලනයට තම දූදරුවන් නැඹුරුනොකරන්නේ ඇයි?

වමේ දේශපාලනය හේතුකොටගෙන තමන් හිමිකරගන්නා කීර්තිය මගින් වමේ නායකයින් උපයාගන්නා සමාජ වටිනාකම් භාවිතකර තම දූදරුවන් ඉහළ සමාජයට ඔසවාතබන අතරේ බිම්මට්ටමේ වමේ සාමාජිකයාගේ දරුවා තාත්තා ගිය මගම යන්නේ ඇයි?
මගේ ඉහත පැනයට අපූරු පිලිතුරක් දුන්නේ ජවිපෙ මල්ලීය.

මහත්මය අහල තියෙනවද “අප්ප කරපු දේ පුතා නොකලොත්
not උගේ පුතා කියමන?
“not උගේ පුතා” කියමනක් මා අසා නැත! “අප්ප කරපු දේ පුතා නොකලොත් ඌ නොට්ටිගෙ පුතා” බවනම් අසා තිබේ.

මහත්මය, අදත් මගේ පුතා රැකියාවිරහිත උපාධිධාරී සංගමයෙ!ඌට රැකියාවක් ගන්න දේශපාලුවො එක්ක මම “ඩීල්” දාන්නෙ නෑ මහත්මය.ඌත් මම වගේමයි.මැරුවත් ජවිපෙ ට වැඩ!

කෝපයෙන්යුතුව තව මොනවදෝ දොඩවමින් ජවිපෙ මල්ලී මූලස්ථානය තුළට ගියා ගියාමය! ආපසු ආවේ නැත.

“not උගේ පුතාලා” සහ “නොට්ටිගේ පුතාලා” කවුරු කවුරුන් ද යන්න හිතාබලමින් මම මගට බැස්සෙමි.

පුංචිහේවා
2017.07.08

Related posts

Leave a Reply

Your email address will not be published.