Breaking News

දුටු ගැමුණු රජුගේ බිසව ගැන අලුත්ම ඉතිහාස කතාව මෙන්න

දුටු ගැමුණු රජුගේ බිසව ගැන අලුත්ම ඉතිහාස කතාව මෙන්න

ශ්‍රී ලංකා ඉතිහාසයේ වැදගත්ම රජෙකු වූ දුටුගැමුණුගේ (ක්‍රි.පූ. 161-137) බිසව ගැන ජනප්‍රවාද, වංශකතා, ලෙන්ලිපි අනුව තොරතුරු විමංශනයක්‌ මෙහිදී කෙරෙයි. දුටුගැමුණු රජුගේ පෙර භවය හා මතු භවය පවා මහාවංශකරු සවිස්‌තරව දැක්‌වුවත් ඔහුගේ බිසව ගැන සටහනක්‌ නොයෙදීම අභිරහසකි. හේතුව ගැමුණු රජුගේ බිසව රාජවංශයයි නොගැළපෙන සාමාන්‍ය කාන්තාවක්‌ වීම දැයි සැක හිතෙයි.

දුටුගැමුණු රජුට 16000 පුර ස්‌ත්‍රීන් පිරිවර ගිය බව ථුපවංශය කියයි. දුටුගැමුණු රජු මළ පසු රජුගේ නාටිකාංගනාවන් රජුගේ ඔටුන්න ගැල වූ ස්‌ථානය මකුටමුත්තශාලා නම් වූ බව මහාවංශය (32(79) කියයි. ඔහුගේ මතු ජන්මය මහාවංශය මෙසේ කියයි. කාවණ්‌තිස්‌ස මතුකල මෙතේ බෝසතුන්ගේ පියා වෙයි. විහාර දේවී මව වෙයි. ගැමුණු මෙසේ බෝසතුන්ගේ දකුණත් සව් වන අතර තිස්‌ස වමත් සව් වෙයි. සාලිය මෙසේ බෝසත් පුතා වන අතර අනුලා බිසව මෙතේ බෝසතුන්ගේ බිසව වෙයි.

ගැමුණු කුමරු පියාට අකීකරුව මලය රටට පලාගිය බව වංශකතා කියයි. ජනප්‍රවාද අනුව ගැමුණු කුමරු වෙස්‌වලාගෙන අවුරුදු 12 කොත්මලේ කොටගේපිටියේ ගමේ ජීවත් විය. කොටගේපිටිය ඌරු පැලැස්‌සේ ගමගෙදර ජීවත් වූ ඔහු එකල ගුත්තා නමින් හඳුන්වනු ලැබීය. ඔහු එකල අස්‌වැද්දුවෙල රජතලාවෙලයි. ඒ කුඹුරුයාය අසළ කුමරු සිටි ලෙන් තවම ඇත. ඒ අසළ පිහිල්ලකි. සළුපිළි වැනු තැන සළුගලයි. ඌරු පැලැස්‌සේ ගමරාළ විසූ වීසුරු ගෙදර බාල දියණිය වූ රන් මැණිකා කුමරුට ආදරය කළාය. වැඩිමල් දූ කළුමැණිකා ඔහු නුරුස්‌සයි. කුමරු මාස්‌වෙල වෙල්යායේ සී සාමින් සිට රන්මැණිකාගේ උකුල මත නිදා සිටිද්දී රජකම ලැබීම ගැන සිහිනයක්‌ දැක ඇත, සිහිනය තේරුම් කළේ පොන්නා නැකැත්තාය. ඔහුට රජකමට ඇතා දණගැසුවේ පුසුල්පිටිය දාගැබ ළඟදීය. කුමරු මෙහිදී කලක්‌ ආදරය කළ රන්මැණිකා තම බිසව ලෙස මාගමට කැඳවා ගෙන ගිය බව ජනකවි දෙකක එයි.

“දුල ගාමිණි කුමරු කරනට කාර සුබ – කළුමැණිකේ පින් නොකළේ මන්ද නුඹ

හෙළිදිව කිරුළට පියාගෙන් මෙදින ලැබ – රන්මැණිකෝ රජ කරන්නට නැඟනු නුඹ”

“දන් පින් කරන අයටයි සොද රජවන්ට – අනේ බැරිවේවි කළුමැණිකට යන්ට

ආලෙන් සිටය සැමදා නුඹ සරි =මෙමට – රන් මැණිකෝ නැඟපන් මාගම යන්ට”

වංශකතා අනුව ගැමුණුගේ බිසවක්‌ ගැන නොඑයි. නිළියන් සිටි බව එයි. ජනප්‍රවාද අනුව ඔහුගේ බිසව වූයේ කොත්මලේ කොටගේපිටියේ ඌරුපැලැස්‌සේ ගමරාළගේ දූ වූ වීසුරු ගෙදර රන්මැණිකාය. රාජ බිසවක්‌ වීමට ක්‍ෂත්‍රීය වංශික කුමාරිකාවක්‌ මීට අවශ්‍ය නිසා වංශකතා ගැමි තරුණියක වූ රන්මැණිකා ගැන නිහඬවූවාදැයි සිතිය යුතුයි. කැකිරාවේ කොස්‌ස ගමකන්ද ලෙන් ලිපියක දුටුගැමුණු රජුගේ බිසවක්‌ ගැන කියවෙයි. රාජකීය ආසියාතික සංගම් 36 කලාපයේ හා මහාචාර්ය පරණවිතාන සංස්‌කරණය කළ “ලංකාවේ බ්‍රාහ්මී ලෙන්ලිපි” ග්‍රන්ථයේ අංක 193 ලෙස කොස්‌සගම කන්ද ලෙන් ලිපිය පළ වී ඇත. “මහ රක්‌ඨහ ගාමිණී අභය දෙවනපියතිශ රමණී බිරිය මිලකනිග විහාරේ කාරිනෙ කතිය” (දෙවනපියතිශ ගාමිණී අභය රජුගේ රමණීය බිසව පු කති මි ලක්‌ඛතිස්‌ස විහාරය කරවීය). මෙහිදී ගැමුණු රජුගේ බිසවගේ නම කති ලෙස ගතහොත් ඇය ලෙන්ලිපි අනුව ඇය වෙනත් බිසවකි. රමණි යනු බිසවගේ නම ලෙස රමණී මිලක්‌ඛතිස්‌ස විහාරය කළ බව ගත හැකි නම් රමණි යනු ජනප්‍රවාදවල සඳහන් රන්මැණිකා විය නොහැකිදැයි අනුමාන කළ හැක. කොස්‌ගම කන්දේ තවත් ලෙන් ලිපියක්‌ ඇත. පරණවිතාන මහතා “ලංකාවේ බ්‍රාහ්මී ලෙන්ලිපි” ග්‍රන්ථයේ අංක 194 ලෙස හඳුන්වන මේ ලිපිය විනාශව ඇත.

එල්ලාවල මේධානන්ද හිමි “දුටුගැමුණු මහ රජතුමා” ග්‍රන්ථයේ “කතී” යන නම කැති නැකත අනුව දුන් එකක බව කියයි. “රමණී කතී” යන ලෙන්ලිපි නාමය ජනප්‍රවාදවල එන රන්මැණිකා බිසවගේ නමේ ඡායාව ඇති බව (පිටුව 101) එතුමා කල්පනා කරයි.

කොස්‌සගම කන්ද ලිපිය අනුව ගැමුණු රජුගේ බිසව “කති” ලෙස ගතහොත් “කති” යනු විහාර දේවිය විසින් කටියාව ජනපදය පාලනයට පත් කළ රාජවංශික කුමාරිකාවක්‌ බව “ගැමුණු රජුගේ දෙවන බිසව “කටී” නම් කවි පොතක කියවෙයි. ඒ අනුව විහාරදේවියගේ අනුමැතිය ඇතිව පණ්‌ඩුකාභය පරපුරෙන් පැවත එන කති කුමරිය සමඟ ගැමුණු කුමරු විවාහ වූ බව එහි කියවෙයි. අද “කටියාව” ජනපදය ඇය විසූ ප්‍රදේශය බව එහි කියවෙයි.

මොණරාගල පොතුවිල් පාරේ පියන්ගල ලෙන්ලිපි දෙකක්‌ අනුව දුටුගැමුණු රජුට “රජිතා” නම් බිසවක්‌ විය. පියන්ගල ලෙන්ලිපි දෙකෙහි එන “දෙවන පිය මහරජ ගාමිණී අභය” යනු දුටුගැමුණු රජු බව පරණවිතාන මහතා කියයි. පියන්ගල ලිපියක්‌ අනුව දෙවන පියතිස්‌ ගාමිණි අභය රජුගේ බිසව වූ රජිතාගේ නෑයෙකු වන දනසුමන භික්‍ෂුන්ට ලෙනක්‌ පුදයි. පියන්ගල දෙවන ලිපිය අනුව ගැමුණු රජුගේ දුවක්‌ පරුමක දුට සුමග විවාහ ව ඇය ලෙනක්‌ පුදයි. මේ දෙවන ලිපිය අනුව ගැමුණු රජුට දුවක්‌ වූ අතර ඇය පරුමක දුට සුමන සමඟ විවාහ විය. මහාවංශය සඳහන් කරනුයේ දුටුගැමුණුගේ පුත් සාලිය කුමරු ගැන පමණකි. පියංගල ලෙන් ලිපියේ කියවෙන රජිතා බිසව ගැමුණු රජුගේ අග බිසව වීමට ඉඩ ඇති බව එල්ලාවල මේධානන්ද හිමි දුටුගැමුණු මහරජතුමා ග්‍රන්ථයේ කියයි. (පිටුව 102)

එල්ලාවල මේධානන්ද හිමිගේ “නවතම ශිලා ලිපි ගවේෂණ ග්‍රන්ථය” අනුව අගබිසව රක්‌ධිනය. රජුට දාව ඇය ලැබූ දියණිය අභිතිශ (පිටුව 20) වෙයි.

සාලිය කුමරුට රජකම නොලැබීමට එක්‌ හේතුවක්‌ ඔහුගේ මව රාජකීය පරපුරේ බිසවක්‌ නොවීමයි. එයද එක්‌ හේතුවකි. එසේ නම් සාලියගේ මව ගැමුණු රජුගේ තවත් බිසවකි.

ගැමුණු රජුගේ පුත් අයශිව කුමරු ගැන ලෙන්ලිපිවල එයි. අයශිවගේ මව ගැමුණු රජුගේ තවත් බිසවක්‌ වීමට ඉඩ ඇති බව “දුටුගැමුණු රජතුමා” (පිටුව 116) ග්‍රන්ථයේ දී එල්ලාවල හිමි කියයි.

මිහන්තලේ අංක 18 හා 19 ලෙන්ලිපිවල අභය ගැමුණු නම් රජෙකු ගැන කියවෙයි. ඒ ලිපිවල කියවෙන්නේ දුටුගැමුණු රජු ම නම් ඔහුට ක්‍රිෂ්ණා නම් බිසවක්‌ විය. “නවතම ශිලාලිපි ගවේෂණ” ග්‍රන්ථයේ දී (පිටුව 20) එල්ලාවල මේධානන්ද හිමි ඒ බව අනුමාන කරයි.

තවත් ජනප්‍රවාදයක්‌ අනුව දුටුගැමුණු රජුගේ බිසව වූයේ අනුරාධපුර රජකළ එළාර රජුගේ දුවකි. ථූපවංශයේ ඇතැම් පිටපත් අනුව ගැමුණු රජගේ මරණයට හේතු වූයේද පෙම්හබයකි. (මහාවංශය කියවන විට දුටුගැමුණු රජු මැදිවියේ හදිසියේ මියගිය බවක්‌ පැහැදිලිව ම හැඟෙයි) ථුපවංශය ඇතැම් පිටපත් අනුව රුවන්වැලිසෑය වැඳීමට නාලොවින් එන නාග කන්‍යාවක්‌ දැක දොරටු පාලයා ඒ බව රජුට දැන්වීය. රජු සැඟ වී සිටින විට නාග කන්‍යාවන් හතක්‌ මතුවිය. පළමු නාග කණ්‍යාව අල්ලා ගත් විට ඉතිරි හයදෙනා පැන ගියහ. නාකෙල රජුගේ බිසව බව කියා වරදක්‌ නොකරන ලෙස කන්නලව් කළත් රජු ඇයගෙන් ආශා සංසිදවා ගත්තේය. ඇය රජුට අවවාද කර පලාගිය පසු රජු තිසා වැවට නෑමට යැම අත්හලේ නාකෙල රජු පළිගත හැකි බැවිනි. කාලයකට පසු ඒ අමතකව රජු තිසා වැවට දියකෙළියට ගියවිට නාරජු සැඟ වී සිට පහරදීම නිසා ගැමුණු රජු සිහිමූර්ජාව ඇඟුළුවලින් ගෙන ගිය විට මළ බව ථුපවංශය කියයි. ථුපවංශය ඇතැම් පිටපත්වල එන මේ කතාව අනුව ගැමුණු රජු අකල් මරණයක්‌ කරා ගියේ නාග කන්‍යාවකට බැඳි ප්‍රේමයකිනි. ජනප්‍රවාද දෙකක මේ කතා පුවත මඳක්‌ වෙනස්‌ව එයි. ගැමුණු රජ ජයසේන නා රජුගේ බිසව ගැන ආශාවී ජයසේන මරවන ලදුව ඔහු නයෙකු වී ඉපද ගැමුණු රජුට දෂ්ඨ කර මැරූ බව එක්‌ කතාවකි. තවත් කතාවක්‌ අනුව රජුගේ මල් උයනට මල් කැපීමට ආ නාග කන්‍යාවක්‌ රජු තම මෙහෙසිය කර ගන්නා ලදී. කවර වෙලාවක දෂ්ඨ කළවිට විෂ උග්‍රවේදැයි රාජ වෛද්‍ය කපුරුනාථගෙන් විමසා ඒ මර වෙලාවට රජුට දෂ්ඨ කළේය. වෛද්‍ය කපුරුනාථ බේත් ගසකට අත දිගුකර මියගිය අතර ගැමුණු රජු තනකිරි ඔරුවක බහාලුවද නාග විෂ නිසාම මළේය.

පියන්ගල ලෙන් ලිපියක්‌ අනුව ගැමුණු රජුට දුවකු විය. මහාවංශය ඇතුළු වංශකතා ඔහු පුත් සාලිය ගැන කියයි. සාලියගේ මව කව්ද ජනප්‍රවාදවල එන රන්මැණිකා වීමටද ඉඩ ඇත. ඔහුට රජකම නොලැබීමට හේතුව සාලිය අශෝකමාලා පවා ගැනීම නොව (අශෝකමාලා චණ්‌ඩාල කන්‍යාවක්‌ නොවන බව පරණවිතාන මහතා ඔප්පු කරයි). මව රාජකීය කාන්තාවක්‌ නොවීමද විය හැක. රජකම ලැබීමට මව්පිය උභය කුල රාජවංශික විය යුතුය බව සීගිරි කාශ්‍යප කුමරුන් (478 – 496) කතාවෙන් පෙනී යයි. රන්මැණිකා රාජකීය කාන්තාවක්‌ නොවීම නිසා ඇය ගැන වංශකතා නිහඬ වූ අතර සාලිය කුමරු ඇගේ පුතා නම් ඔහුට රජකම ලබා ගැනීමටද එය එක්‌ බාධකයක්‌ විය.

ජනප්‍රවාද අනුව රන්මැණිකා හා එළාර රජුගේ දුවක්‌ ගැමුණුට බිසව විය. කොස්‌සගම කන්ද ලෙන් ලිපිය අනුව ගැමුණුගේ බිසව කතීය ඇගේ නම රමණී ලෙස ගතහොත් ඇය ජනප්‍රවාදවල එන රන්මැණිකාම විය හැක. පියන්ගල ලිපියක්‌ අනුව ගැමුණුට රජිතා නම් බිසවක්‌ විය. කතී හා රජිතා යනු බිසවුන් දෙදෙනෙකි. ගැමුණු රජුගේ මරණයට හේතුව නාග කන්‍යාව පිළිබඳ කතා පුවතක්‌ ඇතැම් ථුපවංශ පිටපත් හා ජනප්‍රවාදවල එයි. වංශකතා අනුව සාලිය හා පියන්ගල ලිපිය අනුව දුවක්‌ද ගැමුණු රජුට වූ බව පෙනෙයි. “අබිනිග” ලෙන්ලිපි අනුව රජුගේ තවත් දුවකි.

එස්‌. කේ. ජයවර්ධන

Related posts

Leave a Reply

Your email address will not be published.