20 වන සියවසේ ලංකාවෙන් බිහිවූ අසහාය විප්ලව වාදියා ගැන නව හෙලිදරව්වක්

පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර නමින් 1943 ජුලි 14 දින ( බැස්ටීල් දිනයේ )උපත ලද ලාංකීය උර්තිය විප්ලවවාදියාගේ නම රෝහණ විජේවීර ලෙස පසුව ජනාධාරයට පත්විය. මාක්ස් ලෙනින්වාදී දේසපාලන ව්‍යාපාරයක් වූ ජනතා විමුක්ති පෙරමුණේ සමාරම්භකයා වේ . ඉතා දිලිදු පවුලක උපත ලත් ඔහුගේ පියා දොන් අන්දිරිස් විජේවීර විය. මවගේ නම වුයේ නැසිනෝනා වික්‍රම කළතොටය . දකුණු ලක මාතර දිස්ත්‍රික්කයේ කොට්ටෙගොඩ ධිවර ගම්මානයේ ඔහුගේ කුඩා කල ගෙවී ගියේය. ඔහුගේ මුලික අද්‍යාපනය හැදෑරුවේ ගොඩඋඩ කනිෂ්ට විද්‍යාලයෙනි. (1947 සිට 1953 දක්වා.)ඉන් පසුව 1959 දක්වා ඔහු ගොඩඋඩ මහා විද්‍යාලයේ උගැනුම ලබන ලදී. ඉන් පසුව අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට ඇතුළු වේ උසස් අද්‍යාපනය හදාරන ලදී. 1960 දී ලුලුබ්මා මිත්‍රත්ව සරසවියෙන් පිරි නැමුණු ශිෂයත්වයක් ලැබීමෙන් අනතුරුව වෛද්‍ය උපාධිය හැදෑරීමට රුසියාව බලා පිටත් විනි. වසර තුනක විද්‍යා උපදී පටමාලව ඉතා සාර්ථකව හැරු විජේවීර නම් තරුණ විප්ලවවාදිය තවදුරටත් දේසපාලන ආර්ථික විද්‍යාවද හදාරන ලදී. ඔහු රුසියානු බාෂාව මාස 7 ක් වැනි කෙටිකාලයකින් නිම කළේය. එවකට පවතී රුසියානු හා චීන මතබෙදයෙදේ ඔහුගේ විවේචනය රුසියානු ක්‍රමය වෙත යොමු වුනි.

රෝහණ විජේවීර යනු ලංකා ඉතිහාසයේ මග හැරිය නොහැකි සාධකයකි. එසේම විජේවීර විසින් ලංකාවේ දේශපාලන ප්‍රවාහය යම් තාක් දුරක​ට පාලනය කල බව නොරහසකි. විජේවීර මිය ගියද ඔහු තවමත් ලංකාවේ දේශපාලන තත්වයට බලපෑම් ඇති කරයි.
(වෛද්‍ය රුවන් එම්. ජයතුංග)

ඔහුගේ අනුගාමිකයෝ විජේවීර පරමාදර්ශයක් බවට පත් කිරීමට තැත් කරති. ඔහුව සුරුවමක් මෙන් අදහන සහ ඔහු වෙනුවෙන් ජීවිතය පුද කිරීමටද සූදානම් වූ කොටසක් ඔහුගේ දේශපාලන ව්‍යාපෘතිය තුල තවමත් සිටිති. මින් සමහරක් රෝහණ විජේවීර විවේචකයන්ට කායිකව සහ වාචිකව පහර දීමට වූවද නොපසුබට වූ බුද්ධිමත් භාවයෙන් අඩු ආවේගශීලී පිරිසකි. මෙවැනි කොටස් 71 කැරැල්ල කාලයේ බන්ධනාගාර තුලද පසුකාලීනව පක්‍ෂය තුලද සිටියෝය​. පෝරියල් හමුදාව යනුවෙන් හඳුන්වන මෙකී මූලාංගයන් නිර්මාණය කරන්නේ විජේවීර විසිනි. මේ හමුදාවේ ශේශයන් තවමත් පවතී.

රෝහණ විජේවීරව විවේචනය කරන්නෝ බොහෝ වෙති. සමහරක් රෝහණ විජේවීරව ඉතා නිර්දය ලෙස විවේචනය කරති. ඔවුන් තුල විජේවීර කෙරෙහි මහත් පිළිකුලක් මෙන්ම වෛරයක් තිබේ. ඔවුන්ට අනුව විජේවීර ප්‍රභාකරන් මෙන් ලංකාවට අති විශාල විනාශයක් සිදු කලේය​. එහෙත් මෙම බැතිමත් පාර්ශවය මෙන්ම විජේවීරව නිර්දය ලෙස විවේචනය කරන පාර්ශවයද විජේවීර පිලිබඳ තුලනාත්මක අධ්‍යනයක් කර නොමැත​.

රෝහණ විජේවීර සංකීර්ණ චරිතයකි. විජේවීර තුල අසාමාන්‍ය දක්‍ෂතා මෙන්ම බොහෝ දුර්වලකම්ද තිබුනේය. දක්‍ෂතා අතර ඔහු තුල පැවති සංවිධානාත්මක හැකියාව පෙනී යයි. ධනය බලය රහිතව ඔහු විශාල සංවිධානයක් ගොඩ නැගුවේය​.ඔහු තුල තිබූ කැපවීම කිසිදු දේශපාලකයෙක් තුල තිබුනේ නැත. පයින් ගමෙන් ගමට ගොස් සාමාජිකයන් එකතු කරගෙන ඔහු විසින් ගොඩ නගන ලද සංවිධානය මේ වන විට ලංකාවේ තෙවන බලවේගයක් දක්වා වර්ධනයව තිබේ.

රෝහණ විජේවීර දක්‍ෂ කථිකයෙකි. ඔහු කථන හැකියාව තුලින් පුද්ගලයන් බොහෝ දෙනෙකු දිනා ගත්තේය​. ඒ පුද්ගලයන් අතර ඔක්ස්ෆර්ඩ් අධ්‍යාපනලාභී සුසිල් සිරිවර්ධන, මහාචාර්ය ජයදේව උයන්ගොඩ, මහාචාර්ය ගාමිනී කීරවැල්ල, මහාචාර්ය ගාමිනී සමරනායක, ආචාර්ය විජිත නානයක්කාර,අනගාරික ධර්මසේකර, මහින්ද විජේසේකර, වික්ටර් අයිවන් වැනි පුද්ගලයන් සිටියෝය​. එසේම උදේනි බන්ධුල, කුමානායක, වසන්ත දිසානායක වැනි පුද්ගලයෝ විජේවීර දර්ශනයට වශීව තමන් අධ්‍යයනය කරමින් සිටි උපාධි පාඨමාලා අතහැර පූර්ණකාලිකයන් බවට පත් වූහ​. සමහරු තම නිවෙස්, ඥාතීන් හැරපියා විජේවීර වටා එක්වූහ​. මොවුන් අතර කමනී දේශප්‍රිය, සම්පතී අබේසේකර, ධම්මිකා ද සිල්වා වැනි ගැහැණු ළමයිද සිටියහ​. මින් පෙනී යන්නේ විජේවීර තුල පැවති පුද්ගලයන් දිනා ගැනීමේ විශිෂ්ඨ හැකියාවයි.

අර්ථික, සමාජ, කුල පීඩනයන් නිසා ඉච්ඡාභංගත්වයට පත්ව සිටි තරුණයන්ට තුවක්කු අතට ගැනීම දක්වා සූදානම් කිරීමට විජේවීරට හැකි විය. ඔහු වෙනුවෙන් මංකොල්ලකෑම් කිරීමට (ඉළුක් සේනාරත්න, ලොකු අතුල, වනාතමුල්ලේ ඔස්මන්, නන්දන මාරසිංහ, කාගම උපසේන, බැංකු ලිපිකරු කොල්වින් ජයසිංහ​) ඝාතන සිදු කිරීමට (පැට්රික් ප්‍රනාන්දු, රාහුල, තෝලංගමුව මහා විද්‍යාලයේ සිසුවෙකු වූ ජයතිලක, ලයනල් රණසිංහ ) නොපසුබට වූ පිරිසක් ද නිර්මාණය කර ගැනීමේ හැකියාව ඔහු තුල තිබුණි. මොවුන් බොහෝ දෙනෙකු යම් කාලයකදී විජේවීර වෙනුවෙන් ජීවිත පූජාවට වූවද වූවද සූදානම්ව සිටි අය වූහ​. පුද්ගල මෑනවීම් (manipulation) සාධකය මත ඔහු දෙවනි වූයේ ප්‍රභාකරන්ට පමණි.

කුලවාදය සූක්‍ෂම ලෙස අවශ්‍ය ස්ථානයේදී යොදා ගැනීමට ඔහු සූක්‍ෂම විය​. ප්‍රභාකරන් උතුරේ කුල පීඩිතයන්ට තුවක්කුව අතට දී ඔවුන්ට සමාජයේ සැලකිල්ල -අවධානය බලහත්කාරයෙන් ලබා දුන්නා සේ විජෙවීර දකුනේ කුල පීඩනයට ලක්ව සිටි තරුණයන්ට අනන්‍යතාවක් ලබා දීම මගින් ඔවුන්ව තම ව්‍යාපාරයේ භක්තිමත් සාමාජිකයින් බවට පත් කලේය​. මේ සඳහා ඔහු සාමාජිකයින් ඇමතීමේදී සහෝදරයා යන වචනය වෙනුවට භාවිතා කලේ මහත්තයා යන වචනයයි. මේ මහත්තයා යන වචනය මගින් ඔහු දකුනේ කුල පීඩනයට ලක්ව සිටි තරුණයන් ආකර්‍ෂණය කර ගත්තේය​.

ප්‍රභාකරන්ටත් පෙර ඔහු රතු ගැටවු නමින් ළමා සොල්දාදුවන් තම ව්‍යාපාරය තුල ඇති කලේය​. මෙවැනි රතු ගැටයෙකු වූ තෝලංගමුව ම.ම විද්‍යාලයේ 16 හැවිරිදි පාසල් සිසු කෑගල්ලේ ජයතිලක 1971 කැරැල්ල සමයේදී උදැල්ලකින් පහර දී පබිලිස් නම් පොලිස් ඔත්තුකාරයෙකු මරා දමන ලදි . එසේම එවැනිම රතු ගැටයෙකු වූ ජයතිස්ස කුමාර 71 දී කඩුගන්නාව පොලිසියට පහර දී නිලධාරියෙකු මරා දැමුයේය​.

එක්තරා අයුරකින් විජේවීර යනු බුද්ධිමතෙකි. නමුත් පූර්ණ බුද්ධිමත් භාවයට ඔහු ලඟා වී සිටියේ නැත​. යම් සංකීර්ණ දේශපාලන තත්වයක් සරළව අනුගාමිකයන් ගේ මනසට ගෝචර වන අන්දමට කියා දීමේ හැකියාව ඔහුට තිබුණි . නමුත් ඇතැම් විට ඔහු තුල පැවති ක්සෙනෆෝබියාව (xenophobia) , පැරනොයිඩ අදහස් මේ විශ්ලේෂණයන්ට එකතු වීම නිසා එකී විශ්ලේෂණ වල වටිනාකම අවම විය​. මේ හැර තම තීරණ නිසා සිදු විය හැකි දේවල් පිලිබඳ නිසි තක්සේරුවක් තිබුනේ නැත. පොඩි අතුල හෙවත් වික්ටර් අයිවන් පවසන අන්දමට ඔහුට1970 පමණ කාලයේ පටන් විජේවීරට පැහැදිලි දර්ශනයක් , බලය ලබාගත් පසු කරන්න යන්නේ කුමක්ද යන්න පිළිබඳව වැටහීමක් නැති බව වැටහුණි.

රෝහණ විජේවීර, පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර නමින් උපත ලබන්නේ 1943 දීය​. ඔහුගේ ළමා කාලය දරිද්‍රතාව , කුළ පීඩනය ,සමාජ කොන්වීම්‍ යන සාධක නිසා නීරස වූයේය​. එසේම විජේවීර වයස හතරක කුඩා ළමයෙකුව සිටියදී ක්‍ෂිතිමය අත්දැකීමකට මුහුණ දුන්නේය​. එනම් 1947 මැතිවරණයේදී මැරයන් ගේ පහරදීමට ලක්වී ඔහුගේ පියා වන දොන් අන්දිරිස් විජේවීර සදාකාලික අබ්බගාතයෙකු විය​. මේ නිසා පවුලේ තත්වය තවත් අසරණ වූයේය​. මේ පහරදීම් නිසා දීර්ඝ කාලීනව ඔත්පළ වූ විජේවීරගේ පියා 1965 වසරේදී මිය ගියේය​.

පියාට අතිශයින්ම ඇළුම් කල විජේවීර ගේ ළමා ලෝකය කඩා වැටුනේ මෙම ප්‍රචණ්ඩ සිද්ධිය මගිනි. මේ ක්‍ෂිතිමය සිද්ධිය විජේවීරගේ මරණය තෙක් ඔහුට බලපෑවේය​. එසේම ඔහුගේ අනාගත පෞරුෂය ගොඩ නැගෙන්නේ මේ ඛේදාන්ත සිද්ධිය ඇසුරු කර ගෙනය​. මේ ඛේදාන්තට ලාංකික සමාජයට ඉහළ මිලක් ගෙවන්නට සිදු විය​. නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම මැතිවරණයේදී තමන් ගේ පියා සදාකාලිකව ඔත්පළ ආබාධිතයෙකු කල දේශපාලන ක්‍රමයෙන් විජේවීර අවිඥාණිකව පළි ගන්නේ තරුණ පරම්පරා දෙකක් මරු තුරුලට යැවීමෙනි. 1971 , 1988-89 කැරලි නිසා පුද්ගලයෝ 80,000 ආසන්න සංඛාවක් මරු දුටුහ​.

විජේවීර විශ්වාස කල පරිදි ඔහුගේ පියාට දේශපාලන උසි ගැන්වීම් මත පහර දෙන ලද්දේ දෙණියාය ප්‍රදේශයේ ද්‍රවිඩ වතු කම්කරුවන් පිරිසකි. පසුකාලීනව විජේවීර ද්‍රවිඩ වතු කම්කරුවන් ප්‍රති විප්ලවවාදී කොටසක් ලෙස නම් කරයි. එසේම ද්‍රවිඩ වතු කම්කරුවන් කෙරෙහි අගතියෙන් බැලීමට තම අනුගාමිකයන් උනන්දු කරවයි. මේ හැර තේ වතු විනාශ කොට ඒවා වල බතල සිටවීමටද කථිකා 71 කැරැල්ල කාලයේ තිබුනේය​. තවද 1971 සහ 1988-89 කාලවලදී විජේවීර අනුගාමිකයෝ තේ කර්මාන්ත ශාලා බොහෝ ගනනක් ගිනි තබා විනාශ කලහ​.

මැරයන් ගේ පහරදීම් නිසා සදාකාලිකව ආබාධිතයෙකු වූ තම පියාට මව වූ නැසිනෝනා වික්‍රම කළුතොට නිසි ආකාරව උවටැන් නොකර බව විජේවීරගේ අදහස වූයේය​. මේ නිසා නොයෙක් වර තම අප්‍රසාදය ඔහු තම මව වෙත දක්වන ලදි. විජේවීර තුල තම මව කෙරෙහි අවිඥාණික ගැටුම් (unresolved mental conflicts ) තිබුණු බව පෙනී යයි. වරක් අනුගාමිකයන් ඉදිරිපිට දී (71 කැරැල්ලට ස්වල්ප කාලයකට පෙර​) ඔහු තම මව තමාට සැතිරියක් බව පවසයි. මව කෙරෙහි වූ අවිඥාණික වෛරයද විජේවීර ගේ පෞරුෂය කෙරෙහි බලපෑවේය​. මෙම තත්වය විජේවීරව වඩාත් නිර්දය සහ අඩු සහකම්පනීය චරිතයක් බවට පත් කලේය​.

උපතින්ම විජේවීර ගේ දත් බොල්ලෑ විය​. මේ නිසා කුඩා කාලයේ සිටම ඔහු තුල හීනතාමාන සංකීර්ණය ගොඩනැගුනි. 1971 කැරැල්ල නඩු විභාගයට පෙරද පසුද විජේවීර තම ඉදිරියට නෙරා ඇති දත් අතින් පස්සට තෙරපනු අනුගාමිකයන් බොහෝ දෙනෙකු දැක තිබුණි​. තමන් අවලක්‍ෂණ බවත් විරුද්ධ ලිංගිකයන් ගේ අවධානයට ලක් නොවන බවත් ඔහු විශ්වාස කලේය​. ඔහු ශරීර ස්වථාවය කෙරෙහි උනන්දු නොවීය​. නොනෑම සහ කිලිටි ඇඳුම් ඇඳීම ඔහු කලේය. ඔහුගේ අනුගාමිකයෝද මේ අනුව යමින් ශරීර ස්වථාවය අත් හැර දැමූහ​.

1966 මැයි මාසේ දිනක අක්‌මීමන දී විජේවීර නව පක්‍ෂයක් ආරම්භ කරන ලද අතර මුතුමාල නම් එක් ආරම්භක සාමාජිකයෙකු තරුණියකට පෙම් හසුනක් ලියා ඇති බව ආරංචි වූ විජේවීර මුතුමාලව නෙරපා දැමුවේය​. ප්‍රේම සබඳතා වලට ඔහු විරෝධය දැක්වූයේ එසේය​. මුල් කාලයේදී පෙම් සබඳතා නවතා දමන ලෙස විජේවීර තම අනුගාමිකයන්ට නියෝග කලේය​. මේ අනුව විජේවීර අනුගාමිකයන් බොහෝ දෙනෙකු තම පෙම්වතියන්ට සමු දුන්හ​. මෙම ක්‍රියාව වික්ටර් අයිවන් තම 71 කැරැල්ල පොතෙන් පෙන්වා දෙන්නේ හුදු ලිංගික ඉරිසියාව මත පදනම්ව විජේවීර විසින් ගත් තීරණයක් ලෙසටය​.දත් බොල්ලෑව නිසා ඇතිවූ හීනතාමාන සංකීර්ණයේ උග්‍රාවස්ථාව ලෙස අනුමාන කල හැක්කේ පියකරු මුහුණක් තිබූ විජය කුමාරතුංගගේ මුහුණ විකෘති වන ලෙසට වෙඩි තැබීමට ඝාතකයා මෙහෙයවීමය​.

පෙනී යන පරිදි රෝහණ විජේවීර තුල දත් බොල්ලෑව නිසා Body dysmorphic disorder තත්වය තිබූ බවට උපකල්පනය කිරීමේ සාධක තිබේ. බොහෝ අවස්ථාවලදී ඔහු තම දත් බොල්ලෑව පිළිබඳව චින්තාපර විය​. 71 කැරැල්ල ආසන්නයේදී පවා පේරාදෙනිය දන්ත පීඨයෙන් තම ඉදිරියට නෙරා ඇති දත් ශල්‍යකර්මයක් මගින් සාමාන්‍යකරණය කර ගත යුතු බව ඔහු සෝමසිරි කුමානායකට කීවේය​. මෙම විකලතාව නිසා ඔහු තනිව සිටින විට අත් වලින් දත් පසුපසට තද කිරීම ග්‍රස්තියක් සේ වැඩුනේය​. එසේම ඔහු කණ්නාඩියකින් මුහුණ බැලීමටද අකමැති වූ බව ඔහුගේ සමකාලීනයෝ පෙන්වා දෙති. මෙම විකලතාව විජේවීරට චිරකාලික කාංසාමය තත්වයක් ඇති කරන ලදි. විජේවීර ගේ සමහර සර්වතෝභද්‍ර වාදී ප්‍රවණතාවල මූලයන් මෙම Body dysmorphic disorder තත්වය සමග බැඳී පැවතිනි.

තම ව්‍යාපාරය ආරම්භ කල කාලයේදී කාන්තාවන් ඉදිරියේදී ඔහු අක්‍රිය විය​. පන්ති පහ පවත්වන විට කාන්තාවන් ඉදිරියේදී විජේවීර බිම බලාගෙන දේශන කල බව ඩී.ඒ ගුණසේකර සහ චන්ද්‍රක්කා හෙවත් චන්ද්‍රා ජයන්ති පෙරේරා පවසති. නමුත් යසෝමා සහ මලී යන යුවතියන් සමග හාද වීමෙන් පසු ඔහුගේ සබකෝලය ක්‍රමක් ක්‍රමයෙන් අඩු විය​. පසුකාලීනව එනම් 1988 – 89 අතර කාලය වන විට විජේවීර කාන්තාවන් කිහිප දෙනෙකු සමග සබඳතා පැවැත්වූ බව කෑගල්ලේ පීරිස් හෙවත් විල්ෆ්‍රඩ් රංජිත් පීරිස් පවසයි. මේ කාන්තාවන් අතර හලාවත මොරීන් නම් කාන්තාවක්ද වූ බව විල්ෆ්‍රඩ් රංජිත් පීරිස් වැඩි දුරටත් පවසයි. මේ සාධකය පෙන්වා දෙන්නේ විජේවීර නරක චරිතයක් තිබූ පුද්ගලයෙකු බව කියන්නට නොව ඔහු තුල තිබූ ස්ත්‍රී භීතිකාවේ පසුකාලීන රැඩිකල් සීරු මාරුව පෙන්වා දීමටය​.

ඔහුගේ විවහාය සිදු වන්නේද අසාමාන්‍ය ලෙසටය​. විජේවීරට දොස්‌තර චන්ද්‍ර සුභාෂ් ප්‍රනාන්දු ගේ නැගෙනිය වූ චිත්‍රාංගනී විවහා කර ගැනීමට අවශ්‍ය වූවද චිත්‍රාංගනී මුලදී එයට කැමති වී නැත​. ඉන් කුපිත වූ චන්ද්‍ර සුභාෂ් තම නැගෙනියට හා තම මව​ට වෙඩි තබා මරා දමන බවට තර්ජනය කොට තිබේ.මින් තැතිගත් චිත්‍රාංගනී විවහායට එකඟ වූවාය​. යටි බිම් ගතව සිටි කාලයේදී චිත්‍රාංගනී දරුවන් ගනනාවක් වැදුවාය​.

සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබීමෙන් පසු විජේවීර 1960 දී ශිෂ්‍යත්වයක් ලබා වෛද්‍ය උපාධිය හැදෑරීමට සෝවියට් දේශයට ගියේය. මේ කාලය තුලදී රුසියානු තරුණියන් සමග සබඳතා පැවැත්වූ ලාංකික තරුණයන්ට දොස් පැවරීමට ඔහු පුරුදුව සිටියේය​. තවද ඔහු ගත කලේ එකලා (isolated) ජීවිතයකි. තෙවන වසරේදී ඔහු ජීව රසායණ විද්‍යාව (Bio Chemistry) විශය අසමත් විය​. මේ සමය තුලදී විජේවීර තුල ක්ලමථ තත්වයන් නිසා සමායෝගී ආබාධ (Adjustment Disorder) තත්වයක් වර්ධනය වූ බවට උපකල්පනය කිරීමේ සාධක තිබේ.

ලංකාවට පැමිණි පසු චීන පිළ සමග සබඳතා පැවැත්වීම නිසාද කොමියුනිස්ට් පක්‍ෂයේ කේ පී සිල්වාව විවේචනය කිරීම නිසාද කේ පී සිල්වා විසින් රුසියානු තානාපති කාර්‍යාලයට දන්වා විජේවීර ගේ විසා අත් හිටුවීම නිසා ඔහුගේ ශිෂ්‍යත්වය අවලංගු විය​. මෙය ඉතා පහත් අන්දමේ පළි ගැනීමකි. එහෙත් මේ නිර්දය ක්‍රියාවට ලාංකික සිසු පරපුරට විශාල වශයෙන් වන්දි ගෙවීමට සිදු විය​. තම උසස් අධ්‍යාපනය කඩාකප්පල් කිරීම පිළිබඳ පළි ගැනීම විජේවීර අවිඥානිකව කරන ලද්දේ ලංකාවේ විශ්ව විද්‍යාල වල අර්බුද ඇති කිරීම මගිනි. මේ දක්වා විජේවීරවාදීන් විසින් නවක වදය ,වර්ජන වැනි ක්‍රියා මගින් ලංකාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය කඩාකප්පල් කර තිබීම අවධානයට ලක් විය යුතුය​.

මාගේ අදහස අනුව විජේවීර තුල Posttraumatic embitterment disorder (PTED) තත්වය තිබූ බවට සිතීමේ සාධක තිබේ. මෙම Posttraumatic embitterment disorder (PTED) තත්වය PTSD (Posttraumatic stress disorder ) නොහොත් පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය ආදර්ශයට ගෙන ජර්මානු මනෝ විද්‍යවරයෙකු වන මහාචාර්ය මයිකල් ලින්ඩෙන් විසින් ඉදිරිපත් කරන ලද්දකි. මෙම Posttraumatic embitterment disorder (PTED) තත්වයෙන් පෙලෙන්නන් තුල අවිඥානික වෛරය , ක්‍රම විරෝධී බව , ලෝකය අයහපත් අසාධාරණ ස්ථානයක් බවත් එම ලෝකය කෙරෙහි එදිරිය​, සමාජය හා නීති පද්ධතීන් කෙරෙහි අප්‍රසන්න තිත්ත භාවය , අපිළිසරණ හැඟීම් , පළි ගැනීමේ ආශාව , සහකම්පනීය හැඟීම් අඩු බව , දුක්මුසු මනෝ භාවයන් , තිබෙන බව මහාචාර්ය මයිකල් ලින්ඩෙන් පෙන්වා දෙයි.

1975 සිරගතව සිටියදී ද 1982 ජනාධිපතිවරණ පරාජයෙන් පසුවද රෝහණ විජේවීර තුල විශාදයේ ලක්‍ෂණ පහළ විය​. පොලිස් අත් අඩංගුවේදී විජේවීර කායික මානසික වද බන්ධයන්ට ලක් විය​. විජේවීර නිතරම පොලිසිය සහ පොලිස් ස්ථානයන් බියෙන් මඟ හැරි බව ලයනල් බෝපගේ මහතා පවසයි. ඔහු තුල පශ්චාත් ව්‍යසන ක්ලමථ තත්වයන් නිසා මතුවූ පරිවර්ජනය (Avoidance) තිබුනේද යන්න මේ අනුව සිතා බැලිය යුතුය​.

විජේවීර සැකය කේන්ද්‍ර කොට ගත් චරිතයක් බව ඔහු සමග ඉතා කිට්ටුවෙන් ඇසුරු කල කෙලී සේනානායක පවසයි. එසේම අධි තක්සේරුව සහ පැරනොයිඩ ස්වභාවයන් විජේවීර කෙරෙන් දිස් විය​. ඔහු ඉන්දුනීසියාවේ මෙන් බරපතල වාමාංශික මර්ධනයක් 1970 දී සිදු වන බව තදින් විශ්වාස කලේය​. එසේම 7 වන ඇමරිකානු නාවික බල ඇණිය ලංකාව ආක්‍රමණය කරනු ඇති බවට ඔහු බිය විය​. මේ සඳහා ඇමරිකාව විසින් ජේ ආර් ව 1970 මැතිවරණයේදී බලයට පත් කරනු ලබන බවට ඔහු අණාවැකි කීවේය​. බෙන්තොට හෝටලය ඇමරිකානු කඳවුරක් බවත් ඇල්ල වැල්ලවාය මාර්ගය පළල් කරනුයේ ඇමරිකානු යුද යානා බැස්සීමට බවත් ඔහු විශ්වාස කල අතර අනුගාමිකයන් තුලද බිය පැතිරුවේය​. ඇතැම් විට පැරනොයිඩ ස්වභාවය නිසාද ඔහු තමාගේ කිට්ටු සහචරයන් පවා සැක කලේය​. ඇමරිකාවට ගොස් තිබූ සුසිල් සිරිවර්ධන සී අයි ඒ නියෝජිතයෙකු බව ඔහු සිතුවේය​. එසේම ඩී.ඩී සිල්වා සී අයි ඒ සංවිධානයට ඔහු ගැන තොරතුරු සපයන බවට චෝදනා කලේය.

විජේවීර තුල අනාරක්‍ෂිත හැඟීම් ( feelings of insecurity ) තිබූ අතර මේ නිසා ධර්මසේකර , නිහාල් ඩයස්, සරත් විජේසිංහ සනත් බොරළුකැටිය යනාදීන් කෙරෙහි ඉරිසියාවක් මෙන්ම ඔවුන්ව කපා දමා ක්‍රියා කරන තත්වයක් තිබුණි. මේ නිසා පක්‍ෂයේ අභ්‍යන්තරය දුර්වල විය​. මේ හැර විජේවීර තුල ක්සෙනෆෝබියා (Xenophobia) හෙවත් විදේශිකයන් කෙරෙහි ඇති බියද පෙනී යයි. මේ ක්සෙනෆෝබියා තත්වය තවමත් ඔහුගේ අනුගාමිකයන් අතර දක්නට තිබේ.

විජේවීරට මාක්ස්වාදය පිලිබඳ ගැඹුරු දැණුමක් නොතිබි බව මහාචාර්‍ය ජයදේව උයන්ගොඩ සහ ආචාර්ය වික්‍රම බාහු කරුණාරත්න පවසති. එසේම විචාර බුද්ධියෙන් යුතු ප්‍රශ්න අසන්නන් විජේවීර විසින් තම ව්‍යාපාරයෙන් කපා දැමූ බව විරාජ් ප්‍රනාන්දු සහ අනගාරික ධර්මසේකර පෙන්වා දෙති. ඔහු විචාර බුද්ධියෙන් අඩු ආවේගශීලී කොටස් ඉලක්ක කල බව වික්ටර් අයිවන් සඳහන් කරයි. මෙම විචාර බුද්ධියෙන් අඩු ආවේගශීලී කොටස් සඳහා ඇතැම් පොත් කියවීම ඔහු තහනම් කල අතර එක් ආකාරයකට මෙම කොටස් අතර මුග්ධ භාවයක් ඔහු නඩත්තු කලේය​.

විජේවීර ලෙනින් කෙරහි ආශක්ත විය​. ඔහුගේ ලෝකයේ වීරයා වූයේ ලෙනින් ය​. ඔහු ඇවිදින විට පියවර තැබුවේ ලෙනින් ලෙසටය​. එහෙත් ඔහු ලෙනින් ගේ කෘතීන් විශ්ලේශනාත්මකව කියවා තිබුනේ නැත​. ලෙනින් කෙරෙහි ප්‍රසාදයක් දැක්වූවද අනුගමනය කලේ ස්ටාලින්වාදී ප්‍රතිපත්තිය​. 1971 දී විජේවීර සන්නධ වීමට හා විප්ලවයක් කිරීමට අනුගාමිකයන්ට උපදෙස් දුන් නමුත් කැරැල්ලේ වගකීම තමාගේ නොවන බව කැරැල්ලේ පරාජයෙන් පසු කීවේය​. ඔහු 1971 නැගිටීම ලඝු කලේ ලොකු අතුල විසින් දියත් කරන ලද ප්‍රහාරයක් ලෙසටය​.
ඔහුගේ සමහර න්‍යායන් ඉතා ලාමක විය​. උදාහරණයක් ලෙස ලංකාවේ පොලිස් ස්ථානයන් යටත් කිරීමට ජාපාල න්‍යාය ගැන ඔහු කීවේය​. ඔහු විස්තර කර පරිදි සෑම පොලිස් ස්ථානයකම කෑම ඉවීම සඳහා කොළුවෙකු සිටියි. මේ කොළුවන් මිත්‍ර කර ගෙන පොලිස් භටයන් ගේ ආහාර වලට ජාපාල මිශ්‍ර කොට ඔවුන්ට බඩ රුජා සාදවා පොල්සි ස්ථාන වල බලය ඇල්ලිය යුතු බව වරක් ඔහු කීවේය​. එසේම බෝම්බ නිපදවීම සඳහා තිරිවාණා ගල් එකතු කරන ලෙසට සමහර අනුගාමිකයන්ට කී බව 71 හිටපු සාමාජික විජය උඳුපිටිය කියයි. තිරිවාණා ගල් එකට ගැටුණු විට ගිනි පුපුරු විසිවේ. මෙමගින් බෝම්බ පිපිරවීමට අවශ්‍ය ගින්දර නිපදවිය හැකි බවට විජේවීර මතයක් පළ කලේය​.

ආවේගශීලීව කථාකිරීම තුළ අන්ධ භක්තියෙන් යුත් අනුගාමිකයෝ වශීකර ගැනීමත් කුල පීඩනයට අසුවී සිටි පුද්ගලයන්ට සමාජ කණ්ඩායම තුළ වැඩි වටිනාකමක් දීම මගින් ඔවුන්ව අන්ධ අනුගාමිකයින් බවට හැරවීමට විජේවීර සිදු කල බව වික්ටර් අයිවන් පෙන්වා දෙයි. ගරිල්ලා ව්‍යාපාරයක් පිළිබඳව දේශනා කලද ගරිල්ල භටයෙකු ගේ ජීවිතය පිළිබඳව විජේවීරට ප්‍රායෝගික අවබෝධයක් නොවූ බව ගරිල්ලා භටයෙකු ලෙස 71 කැරැල්ල සමය තුලදී කැලෑ වල දීර්ඝ කාලයක් ගත කල බුලට් මහින්ද පවසයි. මේ හැර ආයුධ පිලිබඳව විජේවීරට 1971 කාලයේ දැණුමක් නොතිබූ බව විරාජ් ප්‍රනාන්දු පෙන්වා දෙයි.

තම පාක්‍ෂිකයන් තමාව ස්ටාලින් ව මෙන් විවේචන වලින් තොරව ඇදහීමකට ලක් කිරීම විජේවීර අපේක්‍ෂා කලේය​. මෙම තත්වය සෝවියට් දේශයේ හඳුන්වන ලද්දේ “කුල්ත් ලීච්නස්ති ස්තාලිනා” ලෙසටය​. විජේවීර තමාව කල්ට් එකක් ලෙසට පාක්‍ෂිකයන් අතර මාකට් කරන ලදි. මේ සඳහා ඔහු යොදා ගත්තේ තමාගේ උග්‍ර බැතිමතුන් ය​.

මුල් කාලයේදී විජේවීර ඉතා සරළ දිවි පෙවතක් ගත කලද ඉරාන ඉරාක අර්බුධයේදී ඉරාකය වෙනුවෙන් කල රහසිගත මෙහෙයුම වෙනුවෙන් විශාල මුදලක් පක්‍ෂය වෙනුවෙන් ලබා ගන්නා ලදි. මේ මුදල් වලින් එකල අළුත්ම හත ශ්‍රී වාහනයක් ඔහු මිලදී ගන්නා ලදි. මේ ක්‍රියාව ව්‍යාපාරික උපාලි විජේවර්ධන හාස්‍යට ලක් කලේ තමාත් විජේවීරත් දැන් එලවන්නේ හත ශ්‍රී කාර් කියමිනි.

විජේවීරට තම පවුල කෙරෙහි ආදරයක් දයාවක් තිබුනේය​. ඔහු දයාබර පියෙකු විය​. එහෙත් සමහර අවස්ථා වලදී අන්‍යන් කෙරෙහි සකම්පනීය අවබෝධයකින් (empathy) තොරව ක්‍රියා කලේය​. ඇතැම් අවස්ථා වලදී විජේවීර තම අනුගාමිකයන් උපකරණ ලෙස සභානුභූතියකින් තොරව භාවිතා කලේය​. යාපනය සිර ගෙදර සිියදී දිවි නොතකා ඔහුව බේරා ගැනීමට පැමිණි බර්ටි රංජිත්ව නොතකා හැරියා පමණක් නොව යටත් පිරිසෙන් ඔහුගේ මුහුණ දෙස වත් නොබැලුවේය​. ඔහු වෙනුවෙන් ලේ කඳුළු හෙලූ අපරිමිත කාර්‍යභාරයක් කල නන්දන මාරසිංහ මරා දැමීමට නියෝග දුන්නේය​. එසේම තමා සමග අතීතයේ සිටි කෙලී සේනානායක​, ප්‍රේමපාල හේවාබටගේ ,රොබට් ජයසේකර වැන්නවුන් ගේ ජීවිත විනාශ කිරීමට සැලසුම් කලේය​. ඔහු සමාව නොදෙන (unforgiving) තරහා හිතේ තබා ගන්නා පුද්ගලයෙකු බව ඔහුගේ පැරණි අනුගාමිකයෝ පෙන්වා දෙති. ඝාතන කෙරෙහි ආශක්ත වූ විජේවීර විසින් දියත් කරන ලද ඝාතන දේශපාලනය පිළිබඳව නිසි හැදෑරීමක් මේ දක්ව කෙරී නැත​.

1971 දී ප්‍රති විප්ලවවාදීන් ලෙස හඳුන්වන ලද කො.ප සාමාජිකයන් සහ අනෙකුත් කොටස් මරා දමන ලෙසට විජේවීර නියෝග කලද බොහෝ දෙනෙකු තම ප්‍රදේශ වල ඝාතන කලේ නැත​. 1971 කැරැල්ල ආසන්නයේදී ප්‍රේමපාල හේවාබටගේට විජේවීරගේ රහස් ලියවිල්ලක් අසු විය​. එම ලේඛනයට අනුව පුද්ගලයන් 120 කට ආසන්න ප්‍රමාණයක් මරා දමන ලෙසට විජේවීර නියෝග කර තිබූ අතර ශිෂ්‍ය අංශයට වලවල් කපා තිබෙන ලෙසට දන්වන ලදි. ප්‍රේමපාල විසින් මෙම ලේඛනය විනාශ කල හෙයින් විජේවිර කෝප වූයේය​. 1988-89 කාලයේදී ඝාතන සිදු කිරීම සඳහා විජේවීර විසින් යොදා ගත්තේ දේශපාලන විඥානයෙන් අඩු ආවේගශීලී නූගත් සාමාජිකයන් මෙන්ම පාතාල සාමාජිකයන් ය​. මොවුන් 71 සාමාජිකයන් මෙන් නොව ඉතා නිර්දය ලෙසින් ඝාතන නියෝග ක්‍රියාත්මක කරන ලදි. විජේවීර පුද්ගලිකව මිනිසුන් මරා නොදැමුවද බොහෝ දෙනෙකුගේ ඝාතන සඳහා නියෝග දුන්නේය​.

1971 දී හෝ 88-89 දී විජේවීර ජයග්‍රහණය කලේ නම් පොල්පොට් පන්නයේ ඝාතන මාලාවක් වනු ඇති බව බොහෝ දෙනෙකු පෙන්වා දෙති. මොවුන් අතර හිටපු විජේවීර පාක්‍ෂිකයන් වූ කෙලී සේනානායක​, ප්‍රේමපාල හේවා බටගේ, නවරත්න බණ්ඩා යනාදීන් මෙන්ම ස්වාධීන දේශපාලන නිරීක්‍ෂකයෝ වෙති. 1989 දී ජවිපෙ හිටපු සාමාජිකයෙකු වූ ප්‍රේමලාල් රණවීරගේ 1975 කාම්බෝජයේ බලය අල්ලාගත් පොල්පොට් පාලනය ගැන ලියූ ලිපියක් විජේවීර අතට පත් කලේය​. එම ලිපියේ පොල්පොට් විසින් කරන ලද ජන ඝාතන ගැන සඳහන් විය​. එහෙත් එම ලිපිය කියවූ විජේවීර පොල්පොට් විසින් කරන ලද ජන ඝාතන පිළිබඳ ප්‍රවෘත්තිය බොරුවක් බවත් මෙය සෝවියට් ඔත්තු සේවය ගෙන යන බොරු ප්‍රචාරයක් බවත් කියන ලදි. ඔහු පොල්පොට්ව සාධාරණීකරනය කලේය​.

විජේවීර ධ්‍රැවගත චින්තනයෙන් ( Polarized Thinking) යුක්ත විය​. ඔහු බාහිර ලෝකය දුටුවේ කළු සුදු ලෙසටය​. ඔහුගේ ලෝකයේ පුද්ගලයෝ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. එනම් පාක්‍ෂිකයන් සහ ද්‍රෝහියන් ය​. ද්‍රෝහියන් කායික වශයෙන් විනාශ කල යුතු බව විජේවීර ඇදැහූ අතර ඝාතනය කල පුද්ගලයන් පිලිබඳව ඔහුට කිසිම පශ්චාත්තාපයක් නොවීය​.

විජේවීර අධ්‍යාත්මික වශයෙන් අවදි නොවූ චරිතයකි. ආගම් සම්බන්ධයෙන් විජේවීරට තිබුනේ උදාසීන පිළිවෙතකි. භෞතිකවාදියෙකු ලෙස පෙනී සිටියද විජේවීරගේ අභ්‍යන්තරය සියයට සියයක් භෞතිකවාදී නොවීය. 71 කැරැල්ල ආසන්නයේදී ඩී.ඩී සිල්වාගේ බිරිඳ අංජනමක් බලා විප්ලවයෙන් පසු නායකයා වන්නේ විජේවීර නොවන බව කී විට ඔහු එය බැරෑරුම්ව ගත්තේය​. එහෙත් උලපනේදී අත් අඩංගුවට පත් වූ විට දරුවන් ගේ ආගම වෙනස් නොකරන ලෙස සිය බිරියගෙන් ඔහු ඉල්ලීමක් කලේය​.

විජේවීර තුල ප්‍රතික්‍රියා මනසක් තිබූ බව පියසිරි කුලරත්න පෙන්වා දෙයි. එය හැම්ලට් චරිතය මෙන්‍ ඉවසීම තීක්‍ෂණය අවශ්‍ය ස්ථාන වල ආවේගයෙන් ඉක්මන් තීරණ ගැනීමද ක්‍ෂණික දැඩි තීරණ අවශ්‍ය වූ ස්ථාන වලදී අක්‍රියව සිටි බවටද පියසිරි කුලරත්න පෙන්වා දෙයි. උදාහරණයක් ලෙස 71 පහරදීමේ තීරණයේදී විජේවීර ව්‍යාකූළ විය​. ඔහු ලාල් සෝමසිරි අත එක් පණිවිඩයක්ද (පහර දෙන්නේ නම් 500 ක පිරිසක් සමග යාපනය බන්ධනාගාරයෙන් ඔහුව මුදවා ගන්නා ලෙසද) ඔස්මන් ගේ මව වන සීලවතී අත (පසුබසින්න​) වෙනත් පණිවිඩයක්ද එවයි.

එසේම තමන්ට වාසිදායක බාහිර යථාර්ථය මිස අහිතකර තථ්‍යතාවන් නොසලකා හැරිය බව පියසිරි කුලරත්න වැඩි දුරටත් පවසයි. එක් අවස්ථාවකදී විරාජ් ප්‍රනාන්දු 1971 විප්ලවය සිදු විය යුතු ආකාරය ගැන විජේවීර සමග තර්ක කලේය​. විජේවීර කීවේ දිවයින පුරා පොලිසි වලට පහර දිය යුතු බවය. පොලිසි වලට පහර දුන් විට යුද හමුදාව අවි අමෝරාගෙන එන්නේ නැත්දැයි විරාජ් ප්‍රනාන්දු විජේවීරගෙන් ඇසුවේය​. විජේවීර එවිට කීවේ ජනතාව එවිට ඉදිරියට පැමිණ හමුදා තුවක්කු වලට පපුව දෙන බවය​. මෙය විජේවීර විසින් අහිතකර තථ්‍යතාවන් නොසලකා හැරිය එක් නිදසුනකි. 1988-89 භීෂණ සමයේ යම් ලෙසකින් තමා අත් අඩංගුවට පත් වුවහොත් ජනාධිපති ප්‍රේමදාස ඔහුට සමාව දී ආණ්ඩුවේ කොටස් කාරයෙකු කර ගනු ඇතැයි ඔහු සදොස් ලෙස විශ්වාස කලේය​. තම තත්වය අධි තක්සේරු කල විජේවීර තම සතුරන් අව තක්සේරුවකට ලක් කරන ලදි.

1970 දී හම්බන්තොට දී විජේවීරව ප්‍රථම වතාවට පොලිස්‌ අත්ඩංගුවට පත් වූ විටදී ඔහුව ප්‍රශ්න කරන ලද්දේ රහස් පොලිසියේ නිලධාරියෙකු වූ සර්නි විජේසූරිය මහතාය​. සර්නි විජේසූරිය මහතා පවසන අන්දමට විජේවීර උද්ධච්ච චරිතයකි. එහෙත් ශාරීරිකව දුර්වල නිසා ඔහු බියසුළු සහ තර්ජනය හා වධයන් හමුවේ දරා සිටීමේ හැකියාව (endurance) නැති පුද්ගලයෙකි. බියට පත්වූ විට විජේවීර කළබල වන බවත් පීඩාකාරී තත්වය මඟ හරවා ගැනීම සඳහා ඔහු ඇසූ ප්‍රශ්න වලට පිලිතුරු දුන් බවත් සර්නි විජේසූරිය මහතා කියයි. වරක් මැලේරියා ජීප් රථයට බියවූ විජේවීර පැන දිව් බව වික්ටර් අයිවන් ගේ 71 කැරැල්ල කෘතියේ සඳහන් වේ. දරා ගැනීම අතින් ශක්තිමත් වූ නන්දන මාරසිංහ වැන්නවුන් සමග සංසංදනය කිරීමේදී විජේවීර සිටියේ බොහෝ පසුපසිනි.

පසු අවස්ථාවක උපාලි සෙනෙවිරත්න සහ ඇන්ටන් ජෙගනාදන් යන රහස් පොලිස් නිලධාරීන් ගේ ප්‍රශ්න කිරීම් හමුවේ විජේවීර තම ව්‍යාපාරයේ සාමාජිකයන් හෙලි කරමින් ඉතා විශාල කට උත්තරයක් ලිඛිතව මෙන්ම වාචිකව (පටිගත කිරීමෙන්) දුන්නේය​. මේ දීර්ඝ කට උත්තරය ඇසූ කළු ලකී, පියතිලක​, ලොකු අතුල, පියසිරි කුලරත්න, ලක්‍ෂ්මන් මුණසිංහ​, චූකී ප්‍රේමරත්න, ඉන්කම් ටැක්ස් කරු, බෝල සමරේ, ප්‍රේමපාල හේවා බටගේ, පාලිත ශාම්දාස්, සෝමපාල ගරුසිංහ වැනි විජේවීරගේ ප්‍රබල අනුගාමිකයන් බොහෝ දෙනෙකු ඔහු කෙරෙන් දුරු විය​. සෝමවංශ අමරසිංහද 71 කැරැල්ලෙන් පසු ඔහුව අත් හැරි නමුදු පසුව යළි එකතු විය​. මේ අනුව පුද්ගලයන් දිනා ගැනීමේ විශිෂ්ඨ හැකියාව විජේවීර තුල තිබුනද එය දිගින් දිගටම පවත්වා ගැනීමේ අව්‍යාජ බව සීමා සහිත වීම නිසා ඔහුගෙන් අනුගාමිකයන් බොහෝ දෙනෙකු හැලී ගිය අතර මොවුන්ව පසු කාලයකදී ද්‍රෝහියන් ලෙස ලේබල් කරන ලදි.

කල්‍යාණ කරුනාරත්න පෙන්වා දෙන අන්දමට විජේවීර වරෙක පොඩි මොන්ටිසෝරි දරුවෙකි ඇතැම් විට හිට්ලර් කෙනෙකි. ඔහුගේ මනෝ භාවයන් දෝලනය විය. විජේවීර තුල මතවාදී ආඥාදායකත්වයක් තිබූ බව අනගාරික ධර්මසේකර සඳහන් කරයි. එසේම ඔහු තුල ජාතිවාදී ප්‍රවණතාද වූයේය​. මේ ජාතිවාදී ප්‍රවණතා නිසා ලයනල් බෝපගේ විජේවීර ගෙන් ඉවත් වී ගියේය​. විජේවීර තුළ තිබූ ද්‍රවිඩ විරෝධයේ ස්වභාවය කුල ආධිපත්‍යය හරහා පැමිණි එකක් බවත් කුල සාධකය නිසා බහුතර සිංහල සමාජයේ කොන්වෙන විට ද්‍රවිඩ විරෝධී සටන හරහා තම වලංගුභාවය කුලවාදී සිංහල සමාජය ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමක් විජේවීර කළ බවත් වික්ටර් අයිවන් පෙන්වා දෙයි.

විජේවීර ජාතිවාදය යොදා ගත්තේය​. ශන්මුගදාසන්ට එරෙහිව ඔහුගේ පාක්ශිකයන් කඩා ගැනීමේදී විජේවීර ශන්ට එරෙහිව ජාතිවාදය යොදා ගත්තා පමණක් නොව ඔහුගේ නම පවා සඳහන් කලේ නාගලිංගම් ශන්මුගදාසන් ලෙස ඔහුගේ දමිළ භාවය ඉස්මතු කරමිනි.

රෝහණ විජේවීර සංකීර්ණ චරිතයක් වූ බව නිසැකය​. ඔහු තුල යහපත් ගති ගුණ මෙන්ම විනාශකාරී ලක්‍ෂණ තිබුනේය​. අවිඥානික මානසික ගැටුම්, කායික අඩු ලුහුඞුවක් නිසා Body dysmorphic disorder තත්වය මෙන්ම Posttraumatic embitterment disorder (PTED) ලක්‍ෂණ ඔහු තුල තිබුනේය​. මේ සියළු ලක්‍ෂණයන් රෝහණ විජේවීර චරිතයට බල පවත්වන ලදි. රෝහණ විජේවීර යන චරිතය අවබෝධ කර ගත යුත්තේ මෙකී කියවීම් හරහාය​.

විජේවීර සහ ප්‍රභාකරන්
********************

විජේවීර සහ ප්‍රභාකරන් කියන දෙන්නා සංසන්දනය කිරීමම වැරදියි කියලා කෙනෙක් කල්පනා කරන්න පුලුවන්. ඒත් තම තමන්ගේ දෘෂ්ටි වාදයන් පැත්තකින් තියලා බැලුවොත් පේන දෙයක් තමයි මේ දෙන්නා අතරේ කොයි තරම් සමානකම් තිබුණද කියන එක. මේ දෙන්නම පහළ සමාජ ස්ථරයන්ගෙන් පැන නැගිලා, පහළ සමාජ පන්තිවල ඉන්න ජනතාව නැතිනම් සුළුතර වාර්ගික ජනතාව වෙනුවෙන් සටන් කරන්න කියලා දේශපාලන ව්‍යාපාර ගොඩනඟපු අය. ඒ අරමුණ ගැන දෙන්නගේම තිබුණු කැපවීම ගැන කියන්න දෙයක් නෑ. විජේවීරයන්ගේ ඒ කැපවීම ජීවිත පරිත්‍යාගය දක්වාම දිගු වෙනවා. ප්‍රභාකරන්ට වුනත් අවසානයේදී ජීවිතයෙන් සමුගන්න වෙනවා.

මේ දෙන්නම අති දක්ෂ විදියට මිනිස්සුන්ගේ හිත් වලට කතා කරන්න හැකියාව තිබුණු අය. විශේෂයෙන්ම රෝහණ විජේවීරගේ වාග් කෞෂල්‍යය නිසාම සුසිල් සිරිවර්ධන, මහාචාර්ය ජයදේව උයන්ගොඩ, මහාචාර්ය ගාමිණී කීරවැල්ල, මහාචාර්ය ගාමිණී සමරනායක, ආචාර්ය විජිත නානායක්කාර, අනගාරික ධර්මසේකර, මහින්ද විජේසේකර, වික්ටර් අයිවන් වැනි පුද්ගලයන් වගේම උදේනි බන්ධුල, කුමානායක, වසන්ත දිසානායක වගේ ලංකාවේ හිටි විශිෂ්ටතමයින් ගණනාවක්ම තමන්ගේ ව්‍යාපාරයට දිනාගන්නට විජේවීර සමත් වෙනවා.

ජනතාව නව රජය පත්කළේ පෙර රජයේ වැරදි නැවත්වීමට සහ නිවැරදි කිරීමටයි – ආචාර්ය හිරාන් අමරසේකර

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය හිරාන් අමරසේකර SAITM පිළිබඳව පසුගියදා  ලංකාදීප පුවත්පත් සමග කල සාකච්චාව

සරසවි සිසුන් නිදහස් අධ්‍යාපනය පිණිස වූ අරගලයක නිරතව සිටින්නේ කලෙක පටන්මය. එහෙත් මෙවර සයිටම් අරභයා වූ ඒකාබද්ධ අරගලය ඊට වඩා සැලකිය යුතු ලෙස වෙනස් මෙන්ම තීරණාත්මකය. තීව‍්‍රය. සාම්ප‍්‍රදායිකව පැවැති සටන වාමාංශික ආභාෂයක් සහිත රැඩිකල්වාදී එකක් යැයි අර්ථකථනය කළ ද මෙවර එවැනි අර්ථකථනයක් දිය නොහැකිය.

මෙවර දියත්ව ඇත්තේ නිදහස් අධ්‍යාපනයත් නිදහස් සෞඛ්‍යයත් යන ක්‍ෂේත‍්‍ර දෙකේම සුරක්ෂාව පිණිස ඒකාබද්ධ වූ සටනකි. උදාහරණයකට විශ්ව විද්‍යාල වෛද්‍ය සිසුවෝ වනාහි සාම්ප‍්‍රදායිකවම වාමාංශික ආභාෂයකින් පෙළගැසුණ පිරිසක් නොවෙති. ජාතික මට්ටමින් මතු නොව ජාත්‍යන්තර මට්ටමෙන් වුව මැන බැලූව ද අතිශයින්ම දුෂ්කර උසස් පෙළ විභාගයෙන් ඉහළම ලකුණු ලබා පැමිණියෝය. සරසවි පීඨ අතරෙහි ද දුෂ්කරතම ඉලක්කය ජයගත් වෛද්‍ය පීඨ අටක සිසුවෝ වසරක පමණක් කාලයක් තිස්සේ දැන් සිටින්නෝ අනවරත අරගලයකය. පිරිසක් අට්ටාලවලය. පිරිසක් මහමඟය. පොදුවේ ගත්කල සියල්ලෝ විරෝධතාවකය. එහෙත් පුදුමසහගත තත්ත්වය නම් මේවාට විසඳුම් සෙවිය යුතු පාලකයන් එය නොසලකා හැර එක ආයතනයක් වෙනුවෙන් පෙනී සිටීමට ගන්නා උත්සාහයයි.

සයිටම් ආයතනයට පදනම වැටුණේ පසුගිය රජය අවධියේදීය. එහෙත් 2015 ජනවාරි 8 ඒ රජය පරාජය කර නව රජයක් බලයට පත්කරන්නට ජනතාව කටයුතු කළහ. ඉතින් දැන් ප‍්‍රශ්නයට විසඳුම සෙවිය යුත්තේ කවුද? වත්මන් රජයයි. ආරම්භයේ පටන්ම සයිටම් ආයතනය ක‍්‍රියා කළේ වංචනිකව බව සියල්ලෝ දනිති. එය ගුණාත්මකව පහළ අඩියක බව දනිති. සයිටම් වෙනුවෙන් යම් මතවාදයක සිටින අතළොස්සක් වේ නම් ඔවුහු යම් ප‍්‍රතිලාභයක් ලැබුවෝය. මෙහිදී සැබැවින්ම සයිටම් මවුපියෝ අසරණය. ඔවුන් සිය දුවා දරුවන් මීට සම්බන්ධ කළේ ආයතනයෙන් කළ යම් දැනුම්වත් කිරීම් හා ප‍්‍රචාරණ කටයුතු විශ්වාස කිරීමෙනි. එසේ බලද්දී අද්‍යතන අධ්‍යාපන ප‍්‍රශ්නය පැහැදිලි ලෙස කඳවුරු දෙකකට බෙදී ඇත්තේ ප‍්‍රමාණාත්මකව රටේ සාතිශය බහුතරය සයිටම්විරෝධී අරගලයක පාර්ශ්වකරුවන් කරමිනි.

වෛද්‍ය පීඨයක් පිහිටුවීමේදී මූලික අවශ්‍ය අංගයක් වන්නේ රෝහලකි. එහෙත් සයිටම් ආයතන ප‍්‍රධානියා කළේ තමා සන්තකයේ තමාට අයත්ව තිබූ රෝහලත් විකුණා දමා ඒ මුදල අධ්‍යාපන ආයතනයක් වෙනුවෙන් ආයෝජනය කිරීමය.

සිසුන් ඇතුළත් කිරීම ගැන ද පැහැදිලි දත්ත නැත. එය ආරම්භ කළ අවධියේ 2011 වසරේ සිට සිසුන් වසරකට දෙවතාව බැගින් විශාල ගණනක් ද බඳවා ගත් බව කියයි. මෙරට රාජ්‍ය විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨ අටටම වර්ෂයකට බඳවාගන්නේ දළ වශයෙන් එක්දහස් දෙසීයක පමණ පිරිසකි. කථිකාචාර්යවරුන් සියයක් පමණ සිටින කොළඹ වෛද්‍ය පීඨයට පවා වසරකට බඳවාගන්නේ සිසුන් දෙසීයක් පමණය. එවැනි සීමාකිරීමක් වන්නේම වෛද්‍ය අධ්‍යාපනයේ ඇති භාරදූරභාවය නිසාය.

වෛද්‍ය අධ්‍යාපනය දෙන්නට අවශ්‍ය වන්නේ විශිෂ්ට ගුරුවරුය. ඊළඟට වැදගත්ම කරුණ වන්නේ සායනික පුහුණුවයි. රටකට රෝගීන් වැඩියෙන් බිහිවේවායි කවරෙක්වත් පතන්නේ නැත. එහෙත් සිසුන්ට අධ්‍යයනය සඳහා අදාළ රෝහලේ විවිධ වර්ගවල රෝගීන් සිටිය යුතුවේ. වෛද්‍ය සභාවේ නිර්දේශය එයයි. රෝගීහු වනාහි අසරණයෝය. තමා සායනික වශයෙන් පරීක්ෂාවට ලක්වන්නේ කාගේ අතින්දැයි ඔවුහු නොදනිති. අප කතාකරන්නේ සැබැවින්ම ජීවිතයත් මරණයත් අතර ප‍්‍රශ්නයකි. අහස් යානාවක් පදවන්නකු කළ යුතු නොකළ යුතු කරුණු රැසක් පවතින්නාක් මෙන් රෝග විනිශ්චය ද කළ යුතු නොකළ යුතු සංකීර්ණ කරුණු රැසකින් සමන්විතය. ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව සයිටම් පාලනාධිකාරියට අවධාරණය කළේ එම සංවේදී කරුණට අදාළ නිර්දේශ මත පිහිටා කටයුතු කළ යුතු බවය. එහෙත් ප‍්‍රශ්නය වූයේ සයිටම් එම නිර්ණායක මත පිහිටා කටයුතු නොකිරීමය. ඔවුන් එම නිර්ණායක මත පිහිටා කටයුතු කරන්නේ නම් ප‍්‍රශ්නයක් නැත.

ලංකාව වැනි රටවල වෛද්‍ය අධ්‍යාපනය මතු නොව ඕනෑම අධ්‍යයන ක්ෂේත‍්‍රයකට පිවිසෙන සිසු සිසුවියන් වැඩිපුර උනන්දු වන්නේ ගුණාත්මක අධ්‍යාපනයකට නොව සහතිකයකටය. රාජ්‍ය විශ්ව විද්‍යාලවල සිටින සිසු සිසුවියන් අතර තත්ත්වය ද මීට වෙනස් නැත. ඔවුන්ට අද උපාධිය ප‍්‍රදානය කරන්නට දැයි ඇසුවොත් බොහෝ දෙනෙක් අධ්‍යයන කටයුතු නැතිවම වුව එය ලබාගැනීමට සූදානම්ය. අධ්‍යාපන ක්ෂේත‍්‍රවල ප‍්‍රමිතිය සඳහා කිසියම් ආයතනයක් පත්කර තිබෙන්නේ එහෙයිනි. එහෙත් අද වනවිට ප‍්‍රමිති පරීක්ෂකයන් ද අසරණ වෙලාය. ඇතැම් බලධාරිහු ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව අපහාසයට උපහාසයට ලක්කරමින් කටයුතු කරති. මේ නිසා වඩාත් අර්බුදයට යන්නේ එහි ස්වාධීනත්වය බව ඔවුහු නොදනිත් ද?

2012 දී පමණ ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිවරයාට අත්බෝම්බ ප‍්‍රහාරයක් පවා එල්ල විය. අද මෙන්ම විවිධ බලපෑම් කළේය. අවසානයේදී ප‍්‍රශ්න මැදම මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා වෛද්‍ය සභාවේ සභාපතිත්වයට පත්කළේය. අප දන්නා තරමට මහාචාර්ය ෆොන්සේකා පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධ වූවෙක් නොවේ. ඔහුට එදා තනතුර ප‍්‍රදානය කළේ ද සයිටම් ආයතනයට අනුමැතිය ගැනීමටය. එහෙත් සයිටම්හි ප‍්‍රමිතිය වඩා නරක තත්ත්වයක ඇති බව සභාපතිවරයා ප‍්‍රමුඛ නිලධාරිහු අවබෝධ කරගත්හ. ඒ නිරීක්ෂණ චාරිකාවකින් පසුව තත්ත්වය සියැසින්ම දැකීමෙනි. ඉතින් පෞද්ගලික අධ්‍යාපනය ගැන අන්තවාදී අදහසක් නොදැරූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා පවා මීට අනුමැතිය නොදුන්නේ මන්දැයි නැවත සිතා බැලිය යුතුය. ප‍්‍රමිතිය හදාගැනීමට සයිටම් සූදානම් නම් ප‍්‍රශ්නයක් නැත.

වෛද්‍ය ශිෂ්‍ය ප‍්‍රවේශය මතු නොව සියලූ අංශවල සිසුන්ගේ උසස් අධ්‍යාපන සිහිනයට හානි පමුණුවන ප‍්‍රධාන බාධකය වී තිබෙන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාලවලට ඇතුළත් කරගන්නා සංඛ්‍යාව සීමිත වීමය. මෙය ඉතාමත් සංවේදී ප‍්‍රශ්නයකි. මන්දයත් ඉසෙඩ් අගයට ප‍්‍රමාණවත් පරිදි සමීප වූවන්ට පවා මේ ඉඩකඩ ප‍්‍රශ්නය නිසා බැටකන්නට සිදුවන හෙයිනි.

මෙය තර්කයක් හැටියට අතිශය සාධාරණය. ප‍්‍රශ්නයක් හැටියට මානුෂිකය. සයිටම් සාධාරණීකරණයට ඇතැමුන් භාවිත කරන්නේ මේ තර්කනයයි. එහෙත් සයිටම් සම්බන්ධයෙන් ගත්කල එය පූර්ණ සත්‍යයක් නොවේ. සයිටම් ආයතනයට බඳවාගත් අතිබහුතර සිසු සිසුවියෝ මෙසේ ඉසෙඞ් ලකුණු සීමාවේ සිටියෝ නොවෙති. හොඳින් විමසා බැලූවහොත් එය නිරීක්ෂණය කළහැකිය. මෙහි ඇත්තේ මුදල පිළිබඳ සාධකයයි. ඇත්ත වශයෙන් ආණ්ඩුවට අධ්‍යාපන ප‍්‍රතිපත්තිය සකසාගැනීමට නිවැරැදි වුවමනාවක් තිබේ නම් සයිටම් ප‍්‍රශ්නය හොඳම ප‍්‍රවේශයයි. රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ ඉඩකඩ ඇහිරීමේ පාපයට වන්දි ගෙවමින් උසස් අධ්‍යාපන සිහිනය බොඳ වන සිසු සිසුවියන්ට සාධාරණ පිළිතුරක් දීමට රජයට වගකීමක් ඇත. ඒ වෙනුවෙන් සියලූ පාර්ශ්ව එකට එකතු වී වහ වහා නිශ්චිත ක‍්‍රමවේදයක් සැකැසිය යුතුවේ. එහෙත් එයට මුවා වී සයිටම් මුට්ටිය දාගැනීමට කිසිසේත් අනුමත කළ නොහැකිය. සරලවම කියන්නේ නම් මුදල සාධකයක් විය යුතු නැත. අවශ්‍ය වන්නේ මුදල වෙනුවට කුසලතාව මත උසස් අධ්‍යාපනය ලබාදෙන වැඩපිළිවෙළකි. නොඑසේව කුසලතාවෙන් හීන පුද්ගලයන්ට මුදල් බලයෙන් දොරටු විවර වන ක‍්‍රමයක් නොවේ.

නිදහස් අධ්‍යාපනය යටතේ වෛද්‍යවරයකු බිහිකිරීමට සුවිසල් මුදලක් රාජ්‍යය වැය කරන බව ඇතැම් විචාරකයෝ පවසති. විශේෂයෙන්ම එම මුදල මහජන බදු මුදල් නිසා කිසිදා නිමා නොවන බැඳීමකින් එකී වෛද්‍යවරුන් පොදු ජනතාව සමඟ තියුණු ලෙස බැඳී පවතින බවට මත දක්වති. පෞද්ගලික රෝහල්වල ප‍්‍රතිකාර කිරීම් ගැන දොස් දකිති. එහෙත් මා දන්නා තරමින් නම් ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියෙන් වෛද්‍යවරුන් බිහිවන්නේ අඩුම පිරිවැයකිනි. තවද රජයේ වෛද්‍යවරුන්ට පෞද්ගලික රෝහල්වල සේවය කිරීමට බැරි ඇයි? එය රජය විසින් පිළිගනු ලැබූ තත්ත්වයකි. බදු මුදලින් උගෙන ගත් පුද්ගලයා පෞද්ගලික රෝහල්වල ප‍්‍රතිකාර කිරීම වැනි කරුණු මත සමස්ත වෛද්‍ය ක්‍ෂේත‍්‍රයේ ගුණාගුණ තක්සේරු කිරීමට යාම නොමනාය. එසේ මැනීමට අවශ්‍ය නම් ඊට ලොව පිළිගත් දර්ශක ඕනෑ තරම් තිබේ. විශේෂයෙන්ම මානව හිමිකම් දර්ශක, අධ්‍යාපන දර්ශක ආදිය එන්න එන්නම කඩාවැටෙද්දී ලංකාවේ සෞඛ්‍ය දර්ශක පවතින්නේ ඉතා ඉහළ තත්ත්වයක බව මේ විවේචකයන්ට නොපෙනෙන්නේ මන්ද? මෙරට ළදරු මරණ අනුපාතය අඩුය. ආයු අපේක්ෂාව වැඩිය. ඇතැම් බෝවන රෝග වසංගත රෝග අප හමාර කර තිබෙන්නේ අසල්වැසි සුවිසල් ඉන්දියානු ලොකු අයියාට ද පෙරය. ජාත්‍යන්තර පරිමාණයේ මෙවැනි ජයග‍්‍රහණ අපට අත්පත් කරගැනීමට හැකිවුණේ දේශීය වෛද්‍යවරුන් නිසා නොවේද? මෙම ජයග‍්‍රහණත් සමස්ත සෞඛ්‍ය සේවයත් රදාපවතින්නේ කොළඹට සීමා වී පෞද්ගලික රෝහල් මතම සිය පැවැත්ම තහවුරු කරගත් වෛද්‍යවරුන් අතළොස්සක් මත නොවේ. විවේචකයන් මෙම අතළොස්සක් වෛද්‍යවරුන් මත සිය තර්කය ගොඩනඟාගන්නේ බුද්ධිවිෂයක වංකභාවය නිසා මිස අන් හේතුවක් නිසා නොවේ. රජයේ රෝහල්වල දිග පෝලිම් පවතින බව ද ඇතැම් ශල්‍යකර්මවලට ලැයිස්තුවේ දිගු කලක් සිටීමට වන බව ද අපි පිළිගනිමු. ඇත්තය. එම තත්ත්ව වහ වහා වෙනස් කළ යුතුය. එහෙත් ඒ ප‍්‍රමිතියක් නැති වෛද්‍ය කඩ කඩිමුඩියේ නීත්‍යනුකූල කිරීමෙන් නම් නොවේ. කළයුත්තේ උසස් තත්ත්වයේ ප‍්‍රමිතියෙන් යුතු වෛද්‍යවරුන් වැඩි වැඩියෙන් බිහිකිරීමය.

පසුගිය කාලයේ සිදු වූ ආර්ථික විපරිවර්තන සමඟ මේ වනවිට ලංකාවේ සමාජය කිසියම් ආර්ථික වර්ධනයක් අත්පත් කරගෙන තිබේ. සරලව කිවහොත් මැදි ආදායම් ලැබීමේ තත්ත්වයට පත්වීම සමඟ මධ්‍යම පන්තියත් ඉහළ මධ්‍යම පන්තියත් සිය කටයුතුවලදී වාණිජමය මෙහෙයවීම්වල බලපෑමට වැඩි වැඩියෙන් ලක්වේ. නිදහස් අධ්‍යාපනය යන සටන් පාඨය යට කරගෙන අධ්‍යාපනයේ නිදහස යන සටන් පාඨය වැඩි හඬකින් නැඟෙන්නේ ඒ නිසාය. මේ සූදානම් වන්නේ අධ්‍යාපනයත් වෙනත් උපභෝග පරිභෝග භාණ්ඩ මෙන් හෝල්සේල් දැමීමටය. එසේ උත්සාහ දරන ඇතැමුන් නඟන තව තර්කයක් වන්නේ ලෝක ශ්‍රේණිගත කිරීම්වලින් ලංකාව පහළ මට්ටමේ සිටින බවය.

ඔවුන් පෙර පරිදිම හිතාමතාම පටලවන්නේ ශ්‍රේණිගත කිරීම හා ප‍්‍රමිතියයි. ශ්‍රේණිගත කිරීම හා ප‍්‍රමිතිය යනු කාරණා දෙකකි. ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට ඒමට නම් නොබෙල් ත්‍යාග ලැබීම ආදී බරපතළ සාධක මුල් තැනට එයි. අපේ විශ්ව විද්‍යාල පද්ධතියෙන් එවන් නිර්මාණ බිහි නොවීමේ දුක්ඛදායක කතාව පසුපස ඇත්තේ රාජ්‍ය අධ්‍යාපනයට වැය කරන මුදලේ හිඟතාවයයි. මේ වනවිට ලංකාවේ ඇත්තේ විද්‍යා විෂයවලට වියදමක් නොකරන තත්ත්වයකි. වැය කරන ප‍්‍රමාණයත් තවත් කප්පාදු කරමින් සිටී. මේ නිසා පර්යේෂණ කිරීමට ඇති හැකියාව පහළ මට්ටමකට වැටේ. එහෙත් එයින් එම විශ්ව විද්‍යාල ප‍්‍රමිතියෙන් පහළ වැටී ඇති බවට කිසි ලෙසකින් අදහස් වන්නේ නැත.

මේ වනවිට සයිටම් ප‍්‍රශ්නය පවතින්නේ ජනප‍්‍රිය උදාහරණයකින් පැවසුවහොත් දඬවම්ලාගේ සක්විතිලාගේ ප‍්‍රශ්නය වගේය. දඬුවම්ලාට සක්විතිලාට හසු වන මිනිසුන්ට එහි ඇති අනීතික බව මහ බැංකුව පැවැසුවේ කල්තියාය. ඒ වෙනුවෙන්ම වූ නිවේදන අවස්ථා කීපයකදීම පළ කෙරිණි. එහෙත් ඔවුහු දැන දැනම අමාරුවේ වැටුණහ. සයිටම් ආයතනය ගැනත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව නිවේදන පළ කළේ මහ බැංකුව වගේමය. එහෙත් දරුවන්ගේ අනාගතය පිළිබඳ සිහිනයෙන් මායාවකට හසු වූ මවුපියෝ ඒවා සත පහකට මායිම් නොකළහ. නිවේදන ද නොසලකා හැරිණි. දැන් ඔවුන් පත්ව සිටින්නේ දඬුවම්ලාට සක්විතිලාට හසුව අසරණ වූ මිනිසුන්ගේ මට්ටමටය. කෙසේ වුවද සියල්ල සිදුවන්නේ හොඳට යැයි සිතා දැන් කළයුත්තේ සයිටම් ප‍්‍රශ්නය මුල්කරගත් පුළුල් සමාජ සංවාදය මෙරට නිදහස් අධ්‍යාපනයේත් නිදහස් සෞඛ්‍යයේත් උන්නතිය පිණිස භාවිත කිරීමය.

නොඑසේව ආර්ථික දෘෂ්ටිකෝණවලින් ප‍්‍රශ්නය විග‍්‍රහ කර ආණ්ඩුවට සිය වගකීමෙන් මිදීමට එය අවභාවිත කිරීම නොවේ. එහෙත් තවමත් අප දකින්නේ දිනපතා වීදි බසින විශ්ව විද්‍යාල සිසුන් හා ඊට එරෙහිව නැ‍ගෙන පොලිස් බාධක හා ජල ප‍්‍රහාරයි. ආණ්ඩුව මේ සෙල්ලම් කරන්නේ රටේ ජීවනාලිය බඳු අනාගත පරපුර සමඟය. ජීවිතයේ හොඳම සමයේ මෙසේ මහමඟ අතරමංව රජයෙන් අවතක්සේරුවට ලක්වීම පුරවැසි සමාජයකට යහපත් නොවේ. රජය දැන්වත් මේ සෙල්ලම නතර කළ යුතුය.

(සංවාද සටහන-බිඟුන් මේනක ගමගේ)

උපුටාගත්තේ – ෆේස්බුක් වෙබ් අඩවියෙනි.

MH370 අතුරුදහන්වී වසර තුනයි – ඇත්තටම මොකද උනේ !!!

ආලෝක වර්ෂ දහස්ගණන් දුර ජීවය සොයන තමුන්ගේ ලොවේ නැතිවූ විශාල ගුවන්යානයක් සොයාගත නොහැකි අපේ විද්‍යාව තාක්ෂණය.

MH370 යානය 2014 මාර්තු 8 වන දින පැය 00:41 දී (මැලේසියානු වේලාවෙන්) මැලේසියාවේ ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපළින් නික්මෙන්නේ, පැය 6 ක පියාසැරියකින් පසු, චීනයේ බෙයිජිං කැපිටල් ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ලඟාවීමේ බලාපොරොත්තුවෙනි. මගීන් 227ක් සහ කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු සමගින් ගුවන්ගතවෙන යානය පැය 01:22 වනතෙක් සුබං (Subang) පාලන මැදිරිය සමග සම්බන්ධවී සිටිනවා.
පැය 01:19 ට අවසන්න පණිවිඩය වන Good night Malaysian three seven zero ගුවන්යානයේ නියමුවන් විසින් නිකුත් කරනවා. ඉන්පසු පැය 01.30 පමණ වනතෙක් සිවිල් රේඩාර් තිරයේ සටහන් වන ගුවන් යානයේ රේඩාර් සම්බන්ධතාවය ඉන්පසු බිඳවැටී තිබෙනවා. කෙසේ නමුත් හමුදා රේඩාර් පද්දතියේ පැය 02:15 තෙක් යානය දිස්වූ බව සඳහන්ය.

නැවත යානය රේඩාර් තිරයේ දිස්වේ යැයි බලාසිටි නිලධාරීන්ට කිසිදු දෙයක් දැකගන්නට ලැබෙන්නේ නැහැ.  තත්වය නරක ඇතාට හැරී එන බව දැනගත් පාලක මැදිරියේ නිලධාරීන් පැය 02:40 ට පමණ MH370  යානය අතුරුදහන් බවට නිවේදනය කරනවා.

ඉන්පසු එළඹෙන කාලපරිච්චේදය ගැන අප ඔබ කවුරුත් දන්නවාය. අතුරුදන් වූ යානය සෙවීම සඳහා 2014 මාර්තු 11 වනදා වන විට ලෝකයේ රටවල් විසින් නෞකා 40ක්, ගුවන් යානා 30 කට වැඩි සංඛ්‍යාවක් වියට්නාම මුහුදු තීරය, දකුණු චීන මුහුද සහ මලක්කා සමුද්‍ර සංධිය අශ්‍රිත මුහුදට, යොදවා තිබුණු නමුත් එකදු සාක්ෂියක් සොයාගැනීමට ඔවුන්ට හැකිවූයේ නැහැ. 2014 මාර්තු 8 දින උදැසන පටන් පහුගිය ජනවාරි 20 (2017) දින දක්වා යානයට වූයේ කුමක්දැයි නිලවශයෙන් සෙවීම් කටයුතු සිදුකලත් කිසිදු සාක්ෂියක් සොයාගත නොහැකිව සෙවීම් කටයුතු අතහැර දැමුවා.

නමුත් යානයේ සිටි මගීන් මෙසේ එය අත්හැර දමන්නට සූදානම් නැහැ. පුද්ගලික වියදමෙන් මේ සෙවීම් කටයුතු සිදුකරන්නට ඔවුන් දැන් සූදානම්. ඒ වෙනුවෙන් අරමුදලක් පිහිටුවන්නටද ඔවුන් කටයුතු කර තිබෙනවා.

මේ අතර විටින් විට වාර්තා වූයේ ගුවන් යානයට අයත් සුන්බුන් සොයාගත් බවත්, කළු පෙට්ටියෙන් නිකුත් කරන සංඥා සොයා ගත් බවයි. නමුත් මේ එකක්වත් හරිහැටි සනාථකිරීමට සමත් වූයේ නැහැ. කෙසේවෙතත් 2015 අගෝස්තුවේදී රීයූනියන් දිවයිනට ගොඩගැසූ ගුවන්යානයක කොටස් බෝයින් යානයක බව හඳුනාගනු ලැබුවත් ඒවා කොහේ සිට ගසාගෙන ආවාදැයි නිගමනය කිරීමටවත්, ගුවන්යානයට වූ අනතුර නිගමය කිරීමටවත් සමත් වූයේ නැහැ.

කෙසේවෙතත් අතුරුදහන්වූ MH370 සනය පිලිබඳ එක් එක් ආකාරයේ මත ඉදිරිපත්වී තිබෙනවා.

බොහෝදෙනා කතාබහට ලක් කල මතය වූයේ මෙය පැහැරගැනීමකට ලක්වූවා කියාය. පැහැරගැනීමත් ආකාර කිහිපයකට අර්ථකථනය කරනලදී. එකක් වූයේ යානයේ ප්‍රධාන නියමුවා විසින් යානය පැහැරගැනීමකට ලක්කලා යන්නයි. ඒ අතර තවත් පිරිසක් පැවසුවේ ත්‍රස්තවාදීන් මෙම යානය පැහැරගත් බවයි.
මේ අතර යානය ඇමරිකානුවන් විසින් යානය පැහැරගෙන දියාගෝගාර්ෂියා වෙත ගොඩබැස්සවූ බවට තවත් මතයක් ඉදිරිපත් විය. කෙසේ නමුත් මේ එකදු  මතයක්වත් පිළිගැනීමට හරිහමන් සාක්ෂියක් ලැබුනේ නැත. එසේම එම මතයන් බොරු යැයි කීමට කිසිදු සාක්ෂියක්ද නැත.

MH370 යානයට සිදුවූයේ කුමක්ද යන්න අදටත් අභිරහසකි. චන්ද්‍රිකා 2271 පමණ පෘථිවිය වටා ඇති අතර මේවා අතරින් එකක්වත් MH370 යානයට සිදුවූයේ කුමක්දැයි දැනගැනීමට සාක්ෂි ලබාදුන්නේ නැත. එම අදාල සාක්ෂි හැංගීම අදාල රටාල් වලින් හිතාමතා කලාද, එසේත් නැතිනම් කිසිදු සාක්ෂියක් නොතබා MH370 සැඟවීගියාද යන්න අදටත් අභිරහසකි. විශ්වයේ අහිරහස් රැසක් සොයන අපේ තාක්ෂණයට අපේ ලෝකය තුල නැතිවූ ගුවන්යානයක් සොයාගැනීමට නොහැකිවීම වෙලාවකට පුදුමයක් දැයි සිතේ !!!

Stonehenge අතීතය සහ වර්තමානය සබැඳුනු කතා

ස්ටෝන්හේජ් – Stonehenge
පිරිසක් විශ්වාස කරනා පරිදි පිටසක්වල හා සම්බන්ධකම් පැවැත්වූ තාරකා දොරටුවක්. තවත් පිරිසක් කියන්නේ ලෙඩ සුවකිරීමේ ස්ථානයක්. නෑ, එය ආගමික සංකල්ප හා බැඳුනු තැනක්, එහෙම දේවල් නෑ… ඒක අතීතයේ මිනිසුන් නිර්මාණය කල කලාත්මක දෙයක්. මෙසේ එක එක්කෙනා විවිධාකාරයේ මත පළකරයි. මේ එක මතයක්වත් තවම 100% නිවැරදි යයි ඔප්පුකර නැතිවාසේම 100% වැරදි යයි කීමට කිසිවෙකුත් සමත්වී නැහැ.

ස්ටෝන්හේජ් ගැන කියන්න හිතුනේ පහුගිය වසරේ සොයාගත්ත අලුත් දේවල් ටිකක් නිසා. ස්ටෝන්හේජ් කියන්නේ අතිවිශාල තණපිට්ටනියක් මැදට වෙන්න පිහිටපු ගල් කුළුණු වලින් විස්මිත ලෙස නිමැවුණු නිර්මාණයක්. මෙය නිර්මාණය කරන්න පටන් අරන් තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 3100 දී විතර. කෙසේ නමුත් මෙය කාලයක් තිස්සේ පියවර කිහිපයකට කටයුතු නිමකරා කියල තමයි සඳහන් වෙන්නේ.  මේ පළමු අදියරේදී සිදුකරලා තියෙන්නේ වටේට තියන අගල (ditch) කැපීම. මේ අගල් ඇතුලතින් කුඩා වලවල් 56ක් කපා එම ස්ථානය අදාහන කටයුතු සඳහා භාවිතා කරා කියල තමයි කියවෙන්නේ. පුදුමය කියන්නේ ආදාහන කටයුතු වලට මෙවැනි ස්ථානයක් නිර්මාණය කරගැනීමට ඔවුන් පෙළඹවූයේ කවුද / කුමන හේතූන්ද යන්නයි.

කෙසේ නමුත් ඉන්පසුව වසර 1000ට අසන්න කාලයක් මෙම ස්ථානය වෙනස් නොවී පැවතිලා තිබෙනවා. ක්‍රිස්තු පූර්ව 2150 පමණ තමයි මෙහි දෙවැනි අදියර පටන් අරන් තියෙන්නේ. ස්ටෝන් හෙන්ජ් වල දෙවන අදියර (පින්තූරය 2) ඇරඹී ඇත්තේ ක්‍රිස්තු පුර්ව 2150දී පමණ. එහිදී නිල් පැහැ පාෂාණ (blue stone) කුට්ටි 82ක් පමණ යොදා ගෙන අසම්පුර්ණ රවුම් දෙකක් ලෙස පෙර තිබු රවුමට ඇතුලෙන් සිටුවා තිබෙනවා. සමහර පුරාවිද්‍යාඥයින්ගේ මතයට අනුව පෙර රවුමේ සිදුරු 56හි පළමු අදියරේ දීම නිල් පාෂාණ කුට්ටි 56ක් සිටුවා තිබී ඇත. දෙවන අදියරේදී එම ගල් කුට්ටි ගලවා ඇතුළු රවුම් දෙක සෑදීමට යොදාගෙන ඇති අතර මදි වු පාෂාණ නැවතත් ගෙනවිත් තිබේ. මෙම අදියරේ දී මාවත තවත් පුළුල් කර පිවිසුමේ ඇති පාෂාණ පිහිටීම ද තරමක් වෙනස් කර ඇතිබව තමයි කියැවෙන්නේ.

මෙම ගල් කුට්ටි ගෙනා ආ ස්ථානයත් තවම තහවුරු කරලා නැහැ. මෙතෙක් කල් පැවති මතය වූයේ වේල්සයේ ප්‍රෙසලි (Preseli) ප්‍රදේශයේ වවුන් මවුන් (Waun Mawn) නැමති ස්ථානයේ සිටවා තිබූ ඒවා ගේන ආවා කියල. එම ස්ථානයේ මේ ආකාරයේ ම තවත් පාෂාණ 03 ක් ඉතිරිව තිබීම මෙම විශ්වාසයට හේතුව වෙලා තියනවා. මෙම ගල් කුට්ටියක් ආසන්න වශයෙන් ටොන් 4 ක් පමණ වන අතර ඒවා කඳන් මත පෙරලාගෙන හෝ ඇදගෙන ජල මාර්ග අසලට ගෙනවිත් පාරුවල පටවාගෙන වේල්සයේ දකුණු වෙරළ ඔස්සේ සහ එවොන් සහ වයිලි යන ගංගා ඔස්සේ සැතපුම් 240ක් පමණ දුර මෙම ස්ථානයට ගෙනවිත් ඇති බව තමයි  විශ්වාස කලේ. නමුත්ද මෑතකදී භූ විද්‍යාඥයින් සොයා ගෙන ඇත්තේ එම පාෂාණ වල මූලය ස්ටෝන් හේන්ජ් සිට සැතපුමක් පමණ දුරින් ඇති පර්වතයක් බවයි. මෙම පාෂාණ ආදි මිනිසා විසින් කපා වෙන් කර රැගෙන එන ලද ඒවාද නැතහොත් අයිස් යුගයේදී වෙන් වූ ගල් කැබලි ග්ලැසියර ප්ලාවිතය ඔස්සේ පාවී පැමිණියාද යන්න පිළිබඳවද තවමත් පර්යේෂණ සිදුකරමින් පවතිනවා.

තුන් වන අදියරේදී ක්‍රිස්තු පුර්ව 2000දී, සාර්සන් නැමති පාෂාණ ගෙනැවිත් සවිකර තිබෙන බව තමයි සොයාගෙන තියෙන්නේ. මෙම පාෂාණයක් ටොන් 50ක් පමණ බර වන අතර ඒවා ගෙනැවිත් ඇත්තේ එව්බරී නගරය ආසන්නයේ ඇති මාබරා ඩවුන්ස් (Marlborough down) නම් ප්‍රදේශයේ සිට බව සොයා ගෙන ඇත. සැතපුම් 25 පමණ වන දුරක් මෙම පාෂණ කුට්ටි කඹ සහ කොටන් යොදා ඇදගෙන එන්නට ඇතැයි විශ්වාස කරයි. මෙම සාර්සන් පාෂාණ දැනටමත් සවි කර ඇති නිල් පාෂාණ රවුම් දෙකට පිටතින් අශ්ව ලාඩමක හැඩය එන ආකාරයේ කණු වැනි පාෂාණ 2ක් සිටුවා උඩින් තැබු තව පාෂාණයක් සහිත දොරටු වැනි කොටස් 05ක් සිටුවා ඇත. එයට පිටතින් සාර්සන් පාෂාණ කණු 30ක් පමණ සිටුවා ඒවා සම්බන්ධ කරමින් උඩින් තැබු සාර්සන් පාෂාණ කුට්ටි වලින් රවුමක් සාදා ඇත. මෙම පාෂාණ කුට්ටි මිටි වලින් ඔප මට්ටම් කර හොඳින් මුට්ටු වන පරිදී සාදා තිබීම විශ්මය ජනකයි.

මෙම අදියරේම තවත් කලකට පසු නිල් පාෂාණ 20ක් පමණ ඕව්ලාකාර හැඩයෙන් එන පරිදි සාර්සන් අශ්ව ලාඩම් වලයටත් ඇතුලෙන් සිටුවා ඇත. මේ වන විට මුලදී ඇතුලතට පෙරදී පිහිටි නිල් පාෂණ රවුම් 2 වෙනස්කම් වලට බඳුන් වී ඇත. පසුව ක්‍රිස්තු පුර්ව 1550 පමණ පිටතම ඇති සාර්සන් පාෂාණ වලයට පිටින් සිදුරු වලයන් දෙකක් (දැනට පෙනෙන්නට නැත) හාරා ඇත. මේවා හාරා ඇත්තේ පෙර වලයන් වලන් ඉතිරි වී ඇති නිල් පාෂාණ 60ත් පමණ සවි කිරිම සඳහා යැයිද විශ්වාස කෙරේ. නමුත් කුමක් හෝ හේතුවක් නිසා මෙම පියවර සිදු කිරීම ඔවුන් නවතා දමා ඇත. පසුව ගත වු කාලයේ දී මැදම තිබු ඕවලාකාර නිල් පාෂාණ වලයද ඉවත් කිරීමට ඔවුන් කටයුතු කර තිබීම ප්‍රහේලිකාවකි.

අවසන් අදියරේ නැවතත් මැදින්ම අශ්ව ලාඩමක හැඩය ගත් නිල් පාෂාණ 20ක වලයක් ඉදිකර ඇත. ඉතිරි නිල් පාෂාණ 60 සාර්ශන් පාෂාණ වලයන් 2 අතර රවුමක් ආකාරයට පිහිටුවා ඇතැයි සොයා ගෙන ඇත. නැවත ක්‍රි.පු 1100දී පිවිසුම් මාවත ස්ටෝන් හේන්ජ් සිට එවෝන් ගංගාව දක්වාම දික් කර සාදා ඇත. පෙරදී තිබූ නිල් පාෂාණ 80ම දැනට ඉතිරිව නොමැති අතර ඒවා පසට යටවී හෝ ඒවායේ සුව වීමේ බලය නිසා විවිධ ප්‍රදේශ වලට ගෙන ගොස් ඇතැයි සිතිය හැක.

කලින් කලට මෙම ගල් වැටියේ ආකෘතිය වෙනස් කිරීමට හේතුන් තවමත් අභිරහසක් වුවත් එය ආදී මිනිසාගේ දැනුම සහ ඇදහිලි මත පදනම් වන්නට ඇත. මෙය ඔවුන්ට ඉතාමත් වැදගත් ස්ථානයක් වන්නට ඇති බව මේ සා විශාල ශ්‍රමයක් සහ ශතවර්ෂ ගණනාවක් ගත කිරීමෙන් සිතා ගත හැක. මෙය ඉදිකිරීමේදී ඉර සහ සඳ පායන දිශාවන් ගැන සැලකිලිමත්ව තිබීම හේතුවෙන් මෙය සුර්ය වන්දනා කරුවන්ගේ දෙවොලක්ව තිබී ඇති බවටද මතයක් පවතී. තාරකා විද්‍යාඥ හැරල්ඩ් හෝකින්ස් 1963දී පවසා ඇත්තේ මෙය අතීත මිනිසා සඳේ සහ ඉරේ ගමන ගණනය කළ සංකීර්ණ දින දර්ශනයක් බඳු යමක් විය හැකි බවයි. මෙය ඉදි කිරීමේදී සඳේ ගමන් මාර්ගයද සැළකිල්ලට ගෙන ඇති අයුරු විටේකර් කැමති තාරකා විද්‍යාඥයා පැහැදිළි කර ඇත.

බොහෝ පුරා විද්‍යාඥයින් මෙය ලෙඩ සුව කරන බලයක් සහිත ස්ථානයක් බවටද මත පළ තර ඇත. සුර්යාගේ චන්ද්‍රයාගේ සහ විශේෂයෙන්ම මෙහි ඇති නිල් පාෂාණ වල බලයන් ඒකරාශි කර ලෙඩ සුව කිරීමට මෙම ස්ථානය යොදා ගෙන ඇති බවට ඔවුන්ගේ අදහසයි. නිල් පාෂාණ වල ලෙඩ සුව කිරීමේ බලය වර්තමානයේදීද යොදා ගනී. මෙම පාෂාණ කැබලි ලඟ තබා ගැනීමෙන් චිත්ත බලය, ධෛර්යය, නිරෝගීකම, ආරක්ෂාව ලැබෙන බව විශ්වසයක් පවතී. ඔවුන් මිය ගිය වුන් වළලන විට නිල් පාෂාණ කැබලි ඔවුන් සමඟ තැන්පත් කර තීබීමද දැකිය හැක. මෙයට හොඳම උදාහරණයක් ලෙස ආම්ස්බරී දුනුවායා (Amesbury Archer) ගත හැක. එම තැනැත්තාගේ සිරුර ස්ටෝන්හෙන්ජ් අසල ගමක වැළලී තිබී සොයා ගෙන ඇත. ඔහු ක්‍රි.පූ 2300 දී පමණ මෙම ස්ථානය කරා අසු පිටින් පැමිණ ඇත්තේ මධ්‍යම යුරෝපයේ ඇල්පයින් ප්‍රදේශයේ සිට බව අස්ථි විශ්ලේෂණයෙන් සොයා ගෙන ඇත. දතක ආසාදනයට ප්‍රතිකාර ගැනීමට එන අතර අසුපිටින් වැටීමකටද බඳුන් වී දණ හිසේ තුවාලයක්ද සහිතව ඔහු පැමිණෙමින් සිට ඇති බවත් එම තුවාල ආසාදනය වී ඔහු මිය ගොස් ඇති බව එම විශ්ලේෂණයෙන් පසු විද්‍යාඥයින් සොයා ගෙන ඇත. ඔහු වළලා ඇති ස්ථානයේද නිල් පාෂාණ කැබලි හමුවී ඇත.

මීට අමතරව ප්‍රදේශයේ ඇති අනෙක් පුරාණ සුසාන වලින්ද නිල් පාෂාණ කැබලි හමුවී ඇත. මෙම ස්ථානයට පැමිණි බොහෝ දෙනෙකු අසාධ්‍ය රෝග වලින් හදිසි අනතුරු වලින් මරණාසන්නව පැමිණි අය බව අවට සුසාන ගොඩැලි කැණීමේදී අනාවරණය වී ඇත. මෙම ස්ථානය අවසන් වරට කැණීම් කර ඇත්තේ 1964දී වන අතර උරුමයක් (English Heritage Site) ලෙස නම් කිරීම නිසා කැණිම් කටයුතු සඳහා අවසර නොමැත. නමුත් 2008දී සිට කුඩා ප්‍රමාණයේ කැණීම් සිදු කිරීමට අවසර ලබා ගෙන ඇති අතර එමඟින් තවත් රහස් රැසක් සොයා ගැනීමට හැකිවේ යැයි පර්යේෂණ කණ්ඩායම් විශ්වාසය පළ කරයි.

ස්ටෝන්හේජ් වර්තමාන සොයාගැනීම්
ස්ටෝන් හෙන්ජ් වටේට පොලොව යට සිතියම් ගත කරපු විද්වතුන්ට හමු වුනේ අදහගන්න බැරි ඉදිකිරීම් ගොඩක්. මෙචර කල් හැමෝම හිතන් හිටියේ ස්ටෝන් හෙන්ජ් කියන්නේ තණකොළ පිටිය මැද්දේ තනියම නැගේ සිටින ස්මාරකයක් විදියට එත් මේ අලුත් සිතියම් ගත කිරීමට අනුව ස්ටෝන් හෙන්ජ් වටේට ස්මාරක විශාල වලවල් සහ සොහොන් කොත් වගේ දේවල් දකින්න තියනවා. ඒ නිසා මේ කණ්ඩායම අවසානයේදී පැවසුවේ ස්ටෝන් හෙන්ජ් කියන්නේ මීට කලින් නොදැකපු නොදැන හිටපු ඉදිකිරීම් සුමුහයක එක සාමාජිකයෙක් විතයි  කියල.වසර 4ක් විතර තිස්සේ වර්ග කිලෝමීටර් 17 විතර ආවරණය කරමින් මේ පරීක්ෂණය සිදු කරලා තියනවා. පරීක්ෂණයට කලින් ස්ටෝන්හේන්ජ් මයිල 1.5 විතර දුරින් ආසන්නතම පුරා විද්‍යා ඉදිකිරිම තියෙනවා කියල හිතුවත් දැන් අඩි 150 විතර දුරින් ආසන්න ඉදිකිරීම හමුවෙනවා. මෙම අනෙකුත් ඉදිකිරීම් කුඩා දේවස්ථාන හෝ සොහොන් විය හැකි අතර ස්ටෝන් හෙන්ජ් ප්‍රදාන පූජනීය ස්ථානය වීමට ඉඩ තිබෙනවා.

Interesting Facts / විශේෂ කරුණු
ස්ටෝන්හේජ් සහ සූර්යා අතර අපූරු සම්බන්ධයක් පවතින බවත් සොයාගෙන තියනවා. සූර්යා බසින විට healing stone (සුවකිරීමේ පාෂාණය) හරහා අශ්ව ලාඩම තුලින් ස්ටෝනේහෙජ් පාෂාණ වළල්ල තුල හරි මැදට සූර්යාලෝකය පතිත වෙන ආකාරයට තමයි මේක හදල තියෙන්නේ. මේක අහඹුවක් වෙන්න බෑ කියල තමයි පර්යේෂකයන් කියන්නේ.

එසේම ස්ටෝන් හෙන්ජ්හි තිබෙනුයේ ඊස්ටර් අයිලන්ඞ්හි ඇති මානව මුහුණුවලින් සංකේතවත් කෙරෙන පෘථිවි මිනිසාගේ පාදය ඇ`ගිලි බවද මේ පපිලිබඳ සොයා බලන ගවේෂකයන් තවදුරටත් උපකල්පනය කර තිබේ. තවද ලංකාවේ හල්දුම්මුල්ල ගලපිටගල ඇති මානවහිස (මෙය යම් කාලයක කල කෘතීම නිර්මාණයක් ලෙස සැලකේ.)

 

මෙසේ ඊස්ටර් අයිලන්ඩ් සහ ස්ටෝන්හේජ් නිර්මාණ සරල රේඛියව යා කළහොත් අනෙක් කොන ලංකාවේ හල්දුම්මුල්ල ගලපිටගල මානවයාගේ හිස පවතින ස්ථානය හා සම්බන්ද කලවිට ත්‍රිකෝණයක් නිර්මාණය වේ. අතිතයේ ත්‍රිකෝණ හැඩති නිර්මාණ සක්වල සම්බන්ධතා සමග විශේෂ  සම්බන්ධයක් පැවතීම මත මෙම ස්ථාන තුනේ එකතුවෙන් නිර්මාණය වන ත්‍රිකෝණය පිලිබඳ මතයක් ගොඩනැගීමට විද්‍යාඥයන් සමත්වී තිබෙනවා. ඔවුන් පවසන්නේ මෙසේ නිර්මාණය වන සක්වල දොරටු ත්‍රිකෝණය සක්‍රීය කිරීමට key එක ඇත්තේ හල්දුම්මුල්ල ගලපිටගල මානවයාගේ ස්ථානයේ බවයි. මෑතකදී නාසා ආයතනය ඉදිරිපත් කල පරිදි ලොව අඩුම ගුරුත්වයක් ඇති ස්ථානය ලෙස ලංකාව නම් කිරීමත් මෙවැනි කාරනා සහතික කිරීමට හොඳ උදව්වක් වී තිබෙනවා. මන්ද පොලවේ ගුරුත්වයෙන් මිදී සක්වල වෙත යාමට අඩු ගුරුත්වයක් සහිත ස්ථානයක් ඉතාම වැදගත් නිසාය.

අන්තර්ජාලය ඇසුරිණි (ඩෑෂ්)

ලිපිය අපට යොමුකළේ – දේශපාළු (ඩෑෂ්) විසිනි