Stonehenge අතීතය සහ වර්තමානය සබැඳුනු කතා

ස්ටෝන්හේජ් – Stonehenge
පිරිසක් විශ්වාස කරනා පරිදි පිටසක්වල හා සම්බන්ධකම් පැවැත්වූ තාරකා දොරටුවක්. තවත් පිරිසක් කියන්නේ ලෙඩ සුවකිරීමේ ස්ථානයක්. නෑ, එය ආගමික සංකල්ප හා බැඳුනු තැනක්, එහෙම දේවල් නෑ… ඒක අතීතයේ මිනිසුන් නිර්මාණය කල කලාත්මක දෙයක්. මෙසේ එක එක්කෙනා විවිධාකාරයේ මත පළකරයි. මේ එක මතයක්වත් තවම 100% නිවැරදි යයි ඔප්පුකර නැතිවාසේම 100% වැරදි යයි කීමට කිසිවෙකුත් සමත්වී නැහැ.

ස්ටෝන්හේජ් ගැන කියන්න හිතුනේ පහුගිය වසරේ සොයාගත්ත අලුත් දේවල් ටිකක් නිසා. ස්ටෝන්හේජ් කියන්නේ අතිවිශාල තණපිට්ටනියක් මැදට වෙන්න පිහිටපු ගල් කුළුණු වලින් විස්මිත ලෙස නිමැවුණු නිර්මාණයක්. මෙය නිර්මාණය කරන්න පටන් අරන් තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 3100 දී විතර. කෙසේ නමුත් මෙය කාලයක් තිස්සේ පියවර කිහිපයකට කටයුතු නිමකරා කියල තමයි සඳහන් වෙන්නේ.  මේ පළමු අදියරේදී සිදුකරලා තියෙන්නේ වටේට තියන අගල (ditch) කැපීම. මේ අගල් ඇතුලතින් කුඩා වලවල් 56ක් කපා එම ස්ථානය අදාහන කටයුතු සඳහා භාවිතා කරා කියල තමයි කියවෙන්නේ. පුදුමය කියන්නේ ආදාහන කටයුතු වලට මෙවැනි ස්ථානයක් නිර්මාණය කරගැනීමට ඔවුන් පෙළඹවූයේ කවුද / කුමන හේතූන්ද යන්නයි.

කෙසේ නමුත් ඉන්පසුව වසර 1000ට අසන්න කාලයක් මෙම ස්ථානය වෙනස් නොවී පැවතිලා තිබෙනවා. ක්‍රිස්තු පූර්ව 2150 පමණ තමයි මෙහි දෙවැනි අදියර පටන් අරන් තියෙන්නේ. ස්ටෝන් හෙන්ජ් වල දෙවන අදියර (පින්තූරය 2) ඇරඹී ඇත්තේ ක්‍රිස්තු පුර්ව 2150දී පමණ. එහිදී නිල් පැහැ පාෂාණ (blue stone) කුට්ටි 82ක් පමණ යොදා ගෙන අසම්පුර්ණ රවුම් දෙකක් ලෙස පෙර තිබු රවුමට ඇතුලෙන් සිටුවා තිබෙනවා. සමහර පුරාවිද්‍යාඥයින්ගේ මතයට අනුව පෙර රවුමේ සිදුරු 56හි පළමු අදියරේ දීම නිල් පාෂාණ කුට්ටි 56ක් සිටුවා තිබී ඇත. දෙවන අදියරේදී එම ගල් කුට්ටි ගලවා ඇතුළු රවුම් දෙක සෑදීමට යොදාගෙන ඇති අතර මදි වු පාෂාණ නැවතත් ගෙනවිත් තිබේ. මෙම අදියරේ දී මාවත තවත් පුළුල් කර පිවිසුමේ ඇති පාෂාණ පිහිටීම ද තරමක් වෙනස් කර ඇතිබව තමයි කියැවෙන්නේ.

මෙම ගල් කුට්ටි ගෙනා ආ ස්ථානයත් තවම තහවුරු කරලා නැහැ. මෙතෙක් කල් පැවති මතය වූයේ වේල්සයේ ප්‍රෙසලි (Preseli) ප්‍රදේශයේ වවුන් මවුන් (Waun Mawn) නැමති ස්ථානයේ සිටවා තිබූ ඒවා ගේන ආවා කියල. එම ස්ථානයේ මේ ආකාරයේ ම තවත් පාෂාණ 03 ක් ඉතිරිව තිබීම මෙම විශ්වාසයට හේතුව වෙලා තියනවා. මෙම ගල් කුට්ටියක් ආසන්න වශයෙන් ටොන් 4 ක් පමණ වන අතර ඒවා කඳන් මත පෙරලාගෙන හෝ ඇදගෙන ජල මාර්ග අසලට ගෙනවිත් පාරුවල පටවාගෙන වේල්සයේ දකුණු වෙරළ ඔස්සේ සහ එවොන් සහ වයිලි යන ගංගා ඔස්සේ සැතපුම් 240ක් පමණ දුර මෙම ස්ථානයට ගෙනවිත් ඇති බව තමයි  විශ්වාස කලේ. නමුත්ද මෑතකදී භූ විද්‍යාඥයින් සොයා ගෙන ඇත්තේ එම පාෂාණ වල මූලය ස්ටෝන් හේන්ජ් සිට සැතපුමක් පමණ දුරින් ඇති පර්වතයක් බවයි. මෙම පාෂාණ ආදි මිනිසා විසින් කපා වෙන් කර රැගෙන එන ලද ඒවාද නැතහොත් අයිස් යුගයේදී වෙන් වූ ගල් කැබලි ග්ලැසියර ප්ලාවිතය ඔස්සේ පාවී පැමිණියාද යන්න පිළිබඳවද තවමත් පර්යේෂණ සිදුකරමින් පවතිනවා.

තුන් වන අදියරේදී ක්‍රිස්තු පුර්ව 2000දී, සාර්සන් නැමති පාෂාණ ගෙනැවිත් සවිකර තිබෙන බව තමයි සොයාගෙන තියෙන්නේ. මෙම පාෂාණයක් ටොන් 50ක් පමණ බර වන අතර ඒවා ගෙනැවිත් ඇත්තේ එව්බරී නගරය ආසන්නයේ ඇති මාබරා ඩවුන්ස් (Marlborough down) නම් ප්‍රදේශයේ සිට බව සොයා ගෙන ඇත. සැතපුම් 25 පමණ වන දුරක් මෙම පාෂණ කුට්ටි කඹ සහ කොටන් යොදා ඇදගෙන එන්නට ඇතැයි විශ්වාස කරයි. මෙම සාර්සන් පාෂාණ දැනටමත් සවි කර ඇති නිල් පාෂාණ රවුම් දෙකට පිටතින් අශ්ව ලාඩමක හැඩය එන ආකාරයේ කණු වැනි පාෂාණ 2ක් සිටුවා උඩින් තැබු තව පාෂාණයක් සහිත දොරටු වැනි කොටස් 05ක් සිටුවා ඇත. එයට පිටතින් සාර්සන් පාෂාණ කණු 30ක් පමණ සිටුවා ඒවා සම්බන්ධ කරමින් උඩින් තැබු සාර්සන් පාෂාණ කුට්ටි වලින් රවුමක් සාදා ඇත. මෙම පාෂාණ කුට්ටි මිටි වලින් ඔප මට්ටම් කර හොඳින් මුට්ටු වන පරිදී සාදා තිබීම විශ්මය ජනකයි.

මෙම අදියරේම තවත් කලකට පසු නිල් පාෂාණ 20ක් පමණ ඕව්ලාකාර හැඩයෙන් එන පරිදි සාර්සන් අශ්ව ලාඩම් වලයටත් ඇතුලෙන් සිටුවා ඇත. මේ වන විට මුලදී ඇතුලතට පෙරදී පිහිටි නිල් පාෂණ රවුම් 2 වෙනස්කම් වලට බඳුන් වී ඇත. පසුව ක්‍රිස්තු පුර්ව 1550 පමණ පිටතම ඇති සාර්සන් පාෂාණ වලයට පිටින් සිදුරු වලයන් දෙකක් (දැනට පෙනෙන්නට නැත) හාරා ඇත. මේවා හාරා ඇත්තේ පෙර වලයන් වලන් ඉතිරි වී ඇති නිල් පාෂාණ 60ත් පමණ සවි කිරිම සඳහා යැයිද විශ්වාස කෙරේ. නමුත් කුමක් හෝ හේතුවක් නිසා මෙම පියවර සිදු කිරීම ඔවුන් නවතා දමා ඇත. පසුව ගත වු කාලයේ දී මැදම තිබු ඕවලාකාර නිල් පාෂාණ වලයද ඉවත් කිරීමට ඔවුන් කටයුතු කර තිබීම ප්‍රහේලිකාවකි.

අවසන් අදියරේ නැවතත් මැදින්ම අශ්ව ලාඩමක හැඩය ගත් නිල් පාෂාණ 20ක වලයක් ඉදිකර ඇත. ඉතිරි නිල් පාෂාණ 60 සාර්ශන් පාෂාණ වලයන් 2 අතර රවුමක් ආකාරයට පිහිටුවා ඇතැයි සොයා ගෙන ඇත. නැවත ක්‍රි.පු 1100දී පිවිසුම් මාවත ස්ටෝන් හේන්ජ් සිට එවෝන් ගංගාව දක්වාම දික් කර සාදා ඇත. පෙරදී තිබූ නිල් පාෂාණ 80ම දැනට ඉතිරිව නොමැති අතර ඒවා පසට යටවී හෝ ඒවායේ සුව වීමේ බලය නිසා විවිධ ප්‍රදේශ වලට ගෙන ගොස් ඇතැයි සිතිය හැක.

කලින් කලට මෙම ගල් වැටියේ ආකෘතිය වෙනස් කිරීමට හේතුන් තවමත් අභිරහසක් වුවත් එය ආදී මිනිසාගේ දැනුම සහ ඇදහිලි මත පදනම් වන්නට ඇත. මෙය ඔවුන්ට ඉතාමත් වැදගත් ස්ථානයක් වන්නට ඇති බව මේ සා විශාල ශ්‍රමයක් සහ ශතවර්ෂ ගණනාවක් ගත කිරීමෙන් සිතා ගත හැක. මෙය ඉදිකිරීමේදී ඉර සහ සඳ පායන දිශාවන් ගැන සැලකිලිමත්ව තිබීම හේතුවෙන් මෙය සුර්ය වන්දනා කරුවන්ගේ දෙවොලක්ව තිබී ඇති බවටද මතයක් පවතී. තාරකා විද්‍යාඥ හැරල්ඩ් හෝකින්ස් 1963දී පවසා ඇත්තේ මෙය අතීත මිනිසා සඳේ සහ ඉරේ ගමන ගණනය කළ සංකීර්ණ දින දර්ශනයක් බඳු යමක් විය හැකි බවයි. මෙය ඉදි කිරීමේදී සඳේ ගමන් මාර්ගයද සැළකිල්ලට ගෙන ඇති අයුරු විටේකර් කැමති තාරකා විද්‍යාඥයා පැහැදිළි කර ඇත.

බොහෝ පුරා විද්‍යාඥයින් මෙය ලෙඩ සුව කරන බලයක් සහිත ස්ථානයක් බවටද මත පළ තර ඇත. සුර්යාගේ චන්ද්‍රයාගේ සහ විශේෂයෙන්ම මෙහි ඇති නිල් පාෂාණ වල බලයන් ඒකරාශි කර ලෙඩ සුව කිරීමට මෙම ස්ථානය යොදා ගෙන ඇති බවට ඔවුන්ගේ අදහසයි. නිල් පාෂාණ වල ලෙඩ සුව කිරීමේ බලය වර්තමානයේදීද යොදා ගනී. මෙම පාෂාණ කැබලි ලඟ තබා ගැනීමෙන් චිත්ත බලය, ධෛර්යය, නිරෝගීකම, ආරක්ෂාව ලැබෙන බව විශ්වසයක් පවතී. ඔවුන් මිය ගිය වුන් වළලන විට නිල් පාෂාණ කැබලි ඔවුන් සමඟ තැන්පත් කර තීබීමද දැකිය හැක. මෙයට හොඳම උදාහරණයක් ලෙස ආම්ස්බරී දුනුවායා (Amesbury Archer) ගත හැක. එම තැනැත්තාගේ සිරුර ස්ටෝන්හෙන්ජ් අසල ගමක වැළලී තිබී සොයා ගෙන ඇත. ඔහු ක්‍රි.පූ 2300 දී පමණ මෙම ස්ථානය කරා අසු පිටින් පැමිණ ඇත්තේ මධ්‍යම යුරෝපයේ ඇල්පයින් ප්‍රදේශයේ සිට බව අස්ථි විශ්ලේෂණයෙන් සොයා ගෙන ඇත. දතක ආසාදනයට ප්‍රතිකාර ගැනීමට එන අතර අසුපිටින් වැටීමකටද බඳුන් වී දණ හිසේ තුවාලයක්ද සහිතව ඔහු පැමිණෙමින් සිට ඇති බවත් එම තුවාල ආසාදනය වී ඔහු මිය ගොස් ඇති බව එම විශ්ලේෂණයෙන් පසු විද්‍යාඥයින් සොයා ගෙන ඇත. ඔහු වළලා ඇති ස්ථානයේද නිල් පාෂාණ කැබලි හමුවී ඇත.

මීට අමතරව ප්‍රදේශයේ ඇති අනෙක් පුරාණ සුසාන වලින්ද නිල් පාෂාණ කැබලි හමුවී ඇත. මෙම ස්ථානයට පැමිණි බොහෝ දෙනෙකු අසාධ්‍ය රෝග වලින් හදිසි අනතුරු වලින් මරණාසන්නව පැමිණි අය බව අවට සුසාන ගොඩැලි කැණීමේදී අනාවරණය වී ඇත. මෙම ස්ථානය අවසන් වරට කැණීම් කර ඇත්තේ 1964දී වන අතර උරුමයක් (English Heritage Site) ලෙස නම් කිරීම නිසා කැණිම් කටයුතු සඳහා අවසර නොමැත. නමුත් 2008දී සිට කුඩා ප්‍රමාණයේ කැණීම් සිදු කිරීමට අවසර ලබා ගෙන ඇති අතර එමඟින් තවත් රහස් රැසක් සොයා ගැනීමට හැකිවේ යැයි පර්යේෂණ කණ්ඩායම් විශ්වාසය පළ කරයි.

ස්ටෝන්හේජ් වර්තමාන සොයාගැනීම්
ස්ටෝන් හෙන්ජ් වටේට පොලොව යට සිතියම් ගත කරපු විද්වතුන්ට හමු වුනේ අදහගන්න බැරි ඉදිකිරීම් ගොඩක්. මෙචර කල් හැමෝම හිතන් හිටියේ ස්ටෝන් හෙන්ජ් කියන්නේ තණකොළ පිටිය මැද්දේ තනියම නැගේ සිටින ස්මාරකයක් විදියට එත් මේ අලුත් සිතියම් ගත කිරීමට අනුව ස්ටෝන් හෙන්ජ් වටේට ස්මාරක විශාල වලවල් සහ සොහොන් කොත් වගේ දේවල් දකින්න තියනවා. ඒ නිසා මේ කණ්ඩායම අවසානයේදී පැවසුවේ ස්ටෝන් හෙන්ජ් කියන්නේ මීට කලින් නොදැකපු නොදැන හිටපු ඉදිකිරීම් සුමුහයක එක සාමාජිකයෙක් විතයි  කියල.වසර 4ක් විතර තිස්සේ වර්ග කිලෝමීටර් 17 විතර ආවරණය කරමින් මේ පරීක්ෂණය සිදු කරලා තියනවා. පරීක්ෂණයට කලින් ස්ටෝන්හේන්ජ් මයිල 1.5 විතර දුරින් ආසන්නතම පුරා විද්‍යා ඉදිකිරිම තියෙනවා කියල හිතුවත් දැන් අඩි 150 විතර දුරින් ආසන්න ඉදිකිරීම හමුවෙනවා. මෙම අනෙකුත් ඉදිකිරීම් කුඩා දේවස්ථාන හෝ සොහොන් විය හැකි අතර ස්ටෝන් හෙන්ජ් ප්‍රදාන පූජනීය ස්ථානය වීමට ඉඩ තිබෙනවා.

Interesting Facts / විශේෂ කරුණු
ස්ටෝන්හේජ් සහ සූර්යා අතර අපූරු සම්බන්ධයක් පවතින බවත් සොයාගෙන තියනවා. සූර්යා බසින විට healing stone (සුවකිරීමේ පාෂාණය) හරහා අශ්ව ලාඩම තුලින් ස්ටෝනේහෙජ් පාෂාණ වළල්ල තුල හරි මැදට සූර්යාලෝකය පතිත වෙන ආකාරයට තමයි මේක හදල තියෙන්නේ. මේක අහඹුවක් වෙන්න බෑ කියල තමයි පර්යේෂකයන් කියන්නේ.

එසේම ස්ටෝන් හෙන්ජ්හි තිබෙනුයේ ඊස්ටර් අයිලන්ඞ්හි ඇති මානව මුහුණුවලින් සංකේතවත් කෙරෙන පෘථිවි මිනිසාගේ පාදය ඇ`ගිලි බවද මේ පපිලිබඳ සොයා බලන ගවේෂකයන් තවදුරටත් උපකල්පනය කර තිබේ. තවද ලංකාවේ හල්දුම්මුල්ල ගලපිටගල ඇති මානවහිස (මෙය යම් කාලයක කල කෘතීම නිර්මාණයක් ලෙස සැලකේ.)

 

මෙසේ ඊස්ටර් අයිලන්ඩ් සහ ස්ටෝන්හේජ් නිර්මාණ සරල රේඛියව යා කළහොත් අනෙක් කොන ලංකාවේ හල්දුම්මුල්ල ගලපිටගල මානවයාගේ හිස පවතින ස්ථානය හා සම්බන්ද කලවිට ත්‍රිකෝණයක් නිර්මාණය වේ. අතිතයේ ත්‍රිකෝණ හැඩති නිර්මාණ සක්වල සම්බන්ධතා සමග විශේෂ  සම්බන්ධයක් පැවතීම මත මෙම ස්ථාන තුනේ එකතුවෙන් නිර්මාණය වන ත්‍රිකෝණය පිලිබඳ මතයක් ගොඩනැගීමට විද්‍යාඥයන් සමත්වී තිබෙනවා. ඔවුන් පවසන්නේ මෙසේ නිර්මාණය වන සක්වල දොරටු ත්‍රිකෝණය සක්‍රීය කිරීමට key එක ඇත්තේ හල්දුම්මුල්ල ගලපිටගල මානවයාගේ ස්ථානයේ බවයි. මෑතකදී නාසා ආයතනය ඉදිරිපත් කල පරිදි ලොව අඩුම ගුරුත්වයක් ඇති ස්ථානය ලෙස ලංකාව නම් කිරීමත් මෙවැනි කාරනා සහතික කිරීමට හොඳ උදව්වක් වී තිබෙනවා. මන්ද පොලවේ ගුරුත්වයෙන් මිදී සක්වල වෙත යාමට අඩු ගුරුත්වයක් සහිත ස්ථානයක් ඉතාම වැදගත් නිසාය.

අන්තර්ජාලය ඇසුරිණි (ඩෑෂ්)

ලිපිය අපට යොමුකළේ – දේශපාළු (ඩෑෂ්) විසිනි

Leave a Reply